හෙද හෙදියන් නැවතත් සටනට ?

හෙද හෙදියන් නැවතත් සටනට ?

හෙද ගැටළු නොවිසදන්නේ නම් රටපුරා සියලූ රෝහල්වල හෙද හෙදියන් සම්බන්ධ කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට කටයුතු කරන බව සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, කොවිඩ් වසංගත තත්වය හමුවේ ඉතා අවධානම් සහ භාරධූර රාජකාරියක නිරතව සිටින මෙරට 38000ක පමණ හෙද කාර්ය මණ්ඩලයට බලපා තිබෙන වෘත්තීය ගැටලූ ගණනාවක් විසඳාගැනීම අරමුණු කොට පසුගිය මැයි 31වන දා තෝරාගත් රෝහල් ගණනාවක හෙද කාර්ය මණ්ඩලය එක්දින අසනීප නිවාඩු වාර්ථා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන ලදි.

එහි දී ශ්‍රී ලංකා ජාතික රෝහල, ජාතික අක්ෂි රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලූ දිවයිනේ රෝහල් ගණනාවක හෙද කාර්ය මණ්ඩලය එම වෘත්තීය ක්‍රියාමාර්ග හා සම්බන්ධ විය. එහි ප්‍රථිඵලයක් ලෙස 2021.06.01 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් හෙද ගැටලූ සම්බන්ධව විධිමත් සාකච්ඡාවක් සංගමයට ලබා දෙන ලදි.

එහි දී ඉදිරිපත් කළ ගැටලූ ගණනාවකට විසඳුම් වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුරත්, සාකච්ඡාවෙන් පසුවත් ලබාදෙන ලදි. නමුත් සාකජ්චාවේ දී එකඟ වූ තවත් ගැටලූ කිහිපයකට විසඳුම් මේ දක්වා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර

නොමැත. සාකච්ඡාවේ දී අප දැණුම් දී සිටියේ දින 14ක් ඇතුලත අදාල ගැටලූ සඳහා විසඳුම් ලබා දෙන ලෙසත් එසේ නොවන්නේ නම් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බවයි.

  1. 2015 වසරේ දී හෙද සේවාවට ලබා දීමට පොරොන්දු වී ඇති රු 15000ක අනතුරු දීමනාවෙන් එකඟ වූ රු 5000ක මුදල ඉතා කඩිනමින් සියලූම හෙද හෙදියන් වෙත ලබා දීම,
  2. හෙද නිළධාරීන්ගේ සහ සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ට කොවිඩි එන්නත ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ඇරඹීම,
  3. 2016 වසරේ සිට නිලවරණය නොපැවැත්වීම හරහා අක්‍රිය වී තිබෙන හෙද සභාව නැවත සක්‍රිය කිරීම සඳහා හෙද සභා නිලවරණය එකඟ වූ ආකාරයට ඉතා කඩිනමින් පැවැත්වීම,
  4. හෙද සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා නම් කර ඇති ව්‍යවස්ථා කමිටුව කැදවා එම කටයුත්ත වහා නිම කිරීම,
  5. මේ වන විට වෛද්‍ය නිළධාරීන්ට පමණක් ලබා දීමට යෝජනා කර ඇති කොවිඩ් අමතර රාජකාරී දීමනා ව හෙද හෙදියන් ඇතුලූ සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත සාධාරණව හා යුක්ති සහගතව ලබා දීම.
  6. හෙද කාර්ය මණ්ඩලය අනාරක්ෂිතව රාජකාරියේ යෙදවීම නවතාලීම හා පොදු පහසුකම් ගැටලූ විසඳීම,
  7. කොවිඩ් වසංගතය සමඟ ආණ්ඩුව සිදුකරන ජාවාරම් නවතා ජනජීව්තය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

ඒ අනුව ඉහත ගැටලූ විසඳීම කඩිනම් නොකරන්නේ නම් එළඹෙන සතිය තුළ රටපුරා සියලූ රෝහල්වල හෙද හෙදියන් සම්බන්ධ කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට කටයුතුකරන බව සංගමය සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිතව දැණුම් දී ඇත.