රාජ්‍ය සේවකයින්ටත් අතිරේඛ දීමනාවක් ඉල්ලයි

development-officers

කොවිඩ් වසංගත අවධානමට තමන් ද මුහුණදෙමින් තම පවුලේ සාමාජිකයින්ට ද එම අවධානම ඇතිවීමේ ඉඩකඩ සහිතව රජයේ ක්‍රියාමාර්ග හා අවශ්‍යතා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කිසිඳු අතිරේක දීමනාවක් නොමැතිව රාජකාරීවල නිරත සියලූම රාජ්‍ය සේවකයින් හා අභ්‍යාසලාභී පුහුණුවන්නන් සඳහා විශේෂ දීමනාවක් ලබා දීම සාධාරණ අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන්/අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු සියලූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, Covid-19 වෛරස ව්‍යාප්තිය යටතේත් සිදුකළයුතු අත්‍යාවශ්‍ය රාජකාරීවල යෙදෙන රාජ්‍ය සේවය හා පළාත් රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, අභ්‍යාසලාභී පුහුණු උපාධිධාරීන් ඇතුළු සියලූ රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ දීමනාවක් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

පසුගිය මැයි මස 27 දින ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ මැති ඇමතිවරුන් හා අමාත්‍යාංශ ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, හා වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවේදී මේ මොහොතේ රජයේ අවශ්‍යතාවය වෙනුවෙන් ජීවිත අවධානමද නොතකමින් රාජකාරීවල නිරත රාජ්‍ය සේවකයින් සඳහා දීමනාවක් ලබා දීම පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා වුණි. නමුත් එවැනි දීමනාවක් ලබා දීම සඳහා මේ දක්වා අමත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන නොමැති බව පැහැදිලිය.

සෞඛ්‍ය අංශවල සේවයේ නියුතු සියලූ දෙනාටම රු.7500/- දීමනාවක් ලබාදීමට 2021. 05. 86ස14 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි. එම අගය සහිත මුදල ප්‍රමාණවත් නොවුණ ද ලබා දී ඇති දීමනාව පවා දිනාගැනීමට සෞඛ්‍ය අංශවල සේවයේ නියුතු වෘත්තීය සමිතිවලට විශාල වෙහෙසක් දැරීමට සිදු විය. කෙසේ වෙතත් මේ මොහොතේ සෞඛ්‍ය අංශවල සේවයේ නියුතු පිරිස් සඳහා ජූනි - අගෝස්තු මාස 03 දක්වා විශේෂ දීමනාවක් ලබා දීම පිළිබඳ අගය කරමු.

මේ මොහොතේ පවතින වසංගත අවධානමට තමන් ද මුහුණදෙමින් තම පවුලේ සාමාජිකයින්ට ද එම අවධානම ඇතිවීමේ ඉඩකඩ සහිතව රජයේ ක්‍රියාමාර්ග හා අවශ්‍යතා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කිසිඳු අතිරේක දීමනාවක් නොමැතිව රාජකාරීවල නිරත සියලූම රාජ්‍ය සේවකයින් හා අභ්‍යාසලාභී පුහුණුවන්නන් සඳහා විශේෂ දීමනාවක් ලබා දීම සාධාරණ බව පෙන්වා දෙන්නෙමු. ඒ අනුව,

  1. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් හා ස්ථීර සේවකයින් ඇතුළු අභ්‍යාසලාභී පුහුණුවන්නන්ට,
  2. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු මේ මොහොතේ ක්ෂේත්‍රයට අයත් රාජකාරීවල නිරත ආයතන හා දෙපාර්තමේන්තු සංවර්ධන නිලධාරීන් හා රාජ්‍ය සේවකයින් ඇතුළු අභ්‍යාසලාභී පුහුණුවන්නන්ට,
  3. වැවිලි අමාත්‍යාංශය යටතේ පොල් වගාකිරීමේ මණ්ඩලය ඇතුළු ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අභ්‍යාසලාභී පුහුණු උපාධිධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට,
  4. ආපදා කළමණාකරණ අමාත්‍යාංශ හා ඊට අනුයුක්ත ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, අභ්‍යාසලාභී පුහුණුවන්නන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට,
  5. පළාත් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය හා විශේෂ රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන්ට අභ්‍යාසලාභී පුහුණුවන්නන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට,
  6. රාජ්‍ය සේවා, පරිසර, ආරක්ෂක ඇතුළු සියලූම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන වල පවතින විශේෂ අවධානම් කාලසීමාව තුළ ආයතන ප්‍රධානීන්ගේ කැඳවීම් සහිතව රාජකාරීවලට වාර්තාකර රාජකාරියේ නියැලෙන සංවර්ධන නිලධාරීන්, අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු සියලූම රාජ්‍ය සේවකයින් සඳහා යම් සාධාරණ කාලපරිච්ඡේදයකට වලංගුවන විශේෂ දීමනාවක් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා මෙන් අප සංගමය ඉල්ලා සිටිමු.

සෞඛ්‍ය සේවය සඳහා යම් දිමනාවක් හා වරප්‍රසාද අවම ප්‍රමාණයක් අනුමත කර ඇති අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙන්ම මාණ්ඩලික නිලධාරීන්ගේ නිවාඩු දින වැටුප් ගෙවීම සඳහා පැවති දින ප්‍රමාණය වැඩි කිරීම ඇතුළු යම් යම් රාජ්‍ය සේවක කණ්ඩායම් පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු කර ඇතත් ඒ හා සමාන අවධානමක් දරා ගනිමින් දැඩි දුෂ්කර කොන්දේසි යටතේ සේවය ලබාදෙන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීම ආණ්ඩුවේ යුතුකමක් මෙන්ම වගකීමක් බවද වැඩිදුරටත් පෙන්වා දෙන්නෙමු.