ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ‘අහෝසි නොකළ යුතු බවට‘ ජනපති කොමිසමෙන් නිර්දේශ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ‘අහෝසි නොකළ යුතු බවට‘ ජනපති කොමිසමෙන් නිර්දේශ

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව (20) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිසන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් 2021 ජනවාරි මස 21 සහ පෙබරවාරි මස 12 වන දිනයන්හි අති විශේෂ ගැසට් නිවේදන මගින් කොමිසමට සාමාජිකයන් පත්කරනු ලැබිණ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයෝ ලෙස විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය නගර සභා සාමාජික යෝගේෂ්වරී පත්කුණරාජා යන මහත්ම මහත්මීහු පත්කර සිටිති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන කොමිසම් සභාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බව අතුරු වාර්තාව මගින් පෙන්වා දෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9,11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.

9 වන වගන්තිය මගින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේ දී අවම මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබාගන්නා පුද්ගලයන්ට අධි චෝදනා ගොනුකර නඩු අසා නිම කිරීමත්, 11 වන වගන්තිය යටතේ වූ රැඳවුම්කරුවන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ ගම් ප්‍රදේශය තුළ රඳවා තබා ගැනීමට ඇති හැකියාව පෙන්වා දී තිබේ.

13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත, සියලු ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම කොමිසම අතුරු වාර්තාව මගින් යෝජනා කරයි.