මියගිය හිෂාලිනීගේ පරීක්ෂණ අපක්ෂපාතීව කරන ලෙස ඉල්ලා ගෘහස්ථ කම්කරු සංගමය පෙරට එයි

මියගිය හිෂාලිනීගේ පරීක්ෂණ අපක්ෂපාතීව කරන ලෙස ඉල්ලා ගෘහස්ථ කම්කරු සංගමය පෙරට එයි

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මියගිය හිශාලිණි දැරිය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ අපක්ෂපාතී ලෙස සිදු කරන ලෙස ඉල්ලා අද දින නාරාහේන්පිට කම්කරු කාර්යාලය ඉදිරිපිටදී උද්ගෝෂණයක් පැවැත්විණි.

උද්ගෝෂණය සංවිධානය කර තිබුණේ ලංකා වෘත්තීය සමිති සම්මේලනය අනුබද්ධ ගෘහස්ථ කම්කරු සංගමය විසිනි. මේ සඳහා ජාතික වෘත්තීය සමිති පෙරමුණ සහ ප්‍රොටෙක්ට් සංගමය නියෝජනය කරමින් ද සාමාජික සාමාජිකාවන් සම්බන්ධ විය.

මෙහිදී ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් චමින්ද පෙරේරා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ රටේ නීති සම්පාදනය කරන ජනතා නියෝජිතයෙක්ගේ නිවසේදී ළමා මෙහෙකාර සේවයේ නිරතව සිටියදී දැරියක මියයාම බරපතල ප්‍රශ්නයක් බවයි. විශේෂයෙන්ම නීති හදන පුද්ගලයන්ම රටේ නිතිය උල්ලංගනය කරමින් දරුවන් මෙහෙකාර සේවයට ගැනීමද තවත් බරපතල කාරණයකි. මෙම දැරිය මිය යාම සම්බන්ධයෙන් පැහැදිළි අපක්ෂපාතී මරණ පරීක්ෂණයක් සිදු කර මේ අපරාධය කරපු අය රටට හෙළිකරන ලෙස ඔවුන් කම්කරු අමාත්‍යාංශයට සහ ආණ්ඩුවට බල කර කියා සිටියේය.

එසේම ආණ්ඩුව කම්කරුවන් ගැන හිතනවනම්, රටේ ප්‍රධාන නීති වලින් ඈත් කර තිබෙන මේ රටේ ගෘහස්ථ කම්කරුවන් ආරක්ෂා කිරීමට ගෘහ කම්කරු සේවයට අදාළ නීති සම්පාදනය කර වහාම ක්‍රියාත්මක කරන ලෙසද ඔවුන් අවධාරණය කර කියා සිටියේය.

තවද හාම්පුතුන්ට සිතැඟි පරිදි ගෘහ කම්කරුවන්ව සූරාකෑමට තිබෙන ඉඩ ප්‍රස්ථාවන් නැති කරන ලෙසත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කල්ප මධුරංග.    

image 50590209 1

image 50590209 2

image 50590209 3

image 50590209 4