උසාවි නියෝගයක් නොමැතිව විදුහල්පතිවරුන් බලෙන් රැගෙන ගිහිල්ලා

උසාවි නියෝගයක් නොමැතිව විදුහල්පතිවරුන් බලෙන් රැගෙන ගිහිල්ලා

අධිකරණයට ඉදිරිපත් නොවූවායයි පවසමින් පොලීසිය විසින් ගුරු-විදුහල්පතිවරු බලහත්කාරයෙන් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා රැගෙනයාම පිළිබඳව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා කියා සිටින්නේ,  මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් හෝ ලබානොගෙන පොලීසිය විසින් මේ ආකාරයෙන් නීතිය අවභාවිතා කරමින් ගුරු-විදුහල්පතිවරු මර්දනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බලා මෙවැනි බලහත්කාරී ක්‍රියාවන් නරත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.

එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණවලට සහභාගි වූ ගුරුවරු සහ විදුහල්පතිවරු පිරිසක් පොලීසිය විසින් 2021.08.11 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි. තමන්ට නිවැරදිව සිතාසි නොලැබීම හේතුවෙන් ගුරු -විදුහල්පතිවරු කිහිපදෙනෙක් ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් නොවීය.

එසේ තිබියදී අද (2021.08.12) දින අධිකරණයට ඉදිරිපත් නොවීම පිළිබඳව සඳහන් කරමින් ජාතික ගුරු සභාව සංවිධානයේ ලේකම් සනත් ජයතිලක මහතා බලගොල්ල පොලීසිය විසින් බලහත්කාරයෙන් කෝවිඩ් 19 පිළිබඳ ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා මැණික්හින්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කර ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කර ඇත. එසේම තලාතුඔය පොලීසිය විසින් ඉහත හේතුවම සඳහන් කරමින් හේවාහැට මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කපිල ප්‍රියන්ත මහතාව තලාතුඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කැඳවා ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කර ඇත. එසේ කිරීමෙන් අනතුරුව කඩුගන්නාව පොලීසිය විසින් ද කපිල ප්‍රියන්ත මහතාගේ ඇන්ටිජන් පරීක්ෂණයක් කළ යුතු බව දුරකතනයෙන් දැනුම් දී ඇත.

ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් නොවූ පුද්ගලයන් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරීමක් හෝ මෙවැනි නියෝගයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා නොදුන් අතර, පොලීසිය විසින් මේ ආකාරයෙන් නීතිය අවභාවිතා කරමින් ගුරු-විදුහල්පතිවරු මර්දනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බලා මෙවැනි බලහත්කාරී ක්‍රියාවන් නරත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන්, ලංකා ගුරු සංගමය, ලංකා ගුරුසේවා සංගමය, විදුහල්පති සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය,  පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරි ගුරු සංවිධානය, ලංකා ගෘහ වි. හා කෘෂි වි. ඩිප්ලෝ: සංගමය, ශ්‍රී ලංකා ඉස්ලාම් ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, කඳුරට ගුරු පෙරමුණ, ගුරු විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ගුරු සංගමය, ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය, වතු ගුරු සංගමය, ජාතික ගුරු සභාව, එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය මෙම වෘත්තීය සමිති පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියේ සඳහන්ය.