දකුණු පළාත් ලේකම්වරයා නිකුත් කළ ලිපියට විරෝධය

දකුණු පළාත් ලේකම්වරයා නිකුත් කළ ලිපියට විරෝධය

Covid-19 වසංගත තත්වයෙන් මුළු මහත් රටේ ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් දැඩි මානසික පීඩනයකින් රාජකාරි කරන අවස්ථාවකදී රජයේ තීරණ හා ප්‍රතිපත්ති විවේචනය කිරීම දඩුවම් ලැබිය වරදක් බව ආයතන සංග්‍රහයේ යම් යම් විධි විධාන පවතින මුත් එය දණ්ඩන මුගුරක් ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව අවභාවිතා කිරීමට ඉඩ දීමට සූදානම් නොමැති බව දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය කියා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, CSS/03/01 පොදු - Covid-19/2020 අංක සහිත 2021.08.31 දිනැතිව දකුණු පළාත් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති හා තීරණ ආයතන සංග්‍රහයට පටහැනිව විවේචනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට අවධාරණය කරමින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් අප සංගමයේ විරෝධය හා අප්‍රසාදය මූලිකව පල කර සිටිමු.

  1. රාජ්‍ය සේවකයින්ද ජනතාව වන බැවින් ද, ඔවුන් ශ්‍රී ලාංකීය පුරවැසියන් වන බැවින්ද මේ ආකාරයට භාෂණයේ නිදහසට මුඛවාඩම් බැඳීමට ක්‍රියා කිරීම ප්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා මූලික මිනිස් අයිතිවාසිකම් අභියෝගයට ලක් කිරීමක් බව පෙන්වා දෙන්නෙමු.
  2. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව 2021.08.28 දිනටත් මේ රටේ සියලූ නීතිවලට ඉහළින් පවතින මූලික නීතිය බව සඳහන් කරමු,
  3. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ iii වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් වල 10, 12, 14 වැනි ව්‍යවස්ථා මඟින් සිතීමේ නිදහස, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් හා භාෂණයේ නිදහස සහතික කර ඇත,
  4. ආයතන සංග්‍රහ ඇතුළු සියලූ අතුරු නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතියට යටත්වන බව ද අවධාරණය කරමු,
  5. එමෙන්ම ඇතැම් ආයතන ප්‍රධානීන් විවිධ දේශපාලන වුවමනා එපාකම් මත රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් අනුගමනය කල එවැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබා දි ඇති නඩු තීන්දු කෙරෙහිද අවධානය යොමු කරමු.

Covid-19 වසංගත තත්වයෙන් මුළු මහත් රටේ ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ඇතුළු ලොකු කුඩා පිරිස් දැඩි මානසික පීඩනයකින් පසුවන අවදියක මේ ආකාරයේ නීති පෙන්වා තර්ජනය කිරීම ප්‍රජාන්ත‍්‍රවාදී මූලධර්ම සහිත රටකට සුදුසු නොවන බවත්, ආයතන සංග්‍රහයේ යම් යම් විධි විධාන පවතින මුත් එය දණ්ඩන මුගුරක් ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව අවභාවිතා කිරීමට ඉඩ දීමට සූදානම් නැති බවද වැඩි දුරටත් දන්වා සිටිමු.