ලංකාව පුරා විශාල ගුරු හිගයක්

ලංකාව පුරා විශාල ගුරු හිගයක්

රටේ පවතින උග්‍ර ගුරු හිඟය තව තවදුරටත් වර්ධනය වන්නට ඉඩ නොදී වසා දමා තිබෙන දිවයිනේ සෑම විද්‍යාපීඨයක්ම විවෘත කරන්නැයි ද විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීම කඩිනම් කරන ලෙසද සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එම වෘත්තීය සමිතිය දඹුල්ල ප්‍රදේශ යේදි 02 දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මේ වන විට ලංකාව පුරා විශාල ගුරු හිගයක් පවතින බව ය. ඉදිරියේදී ආර්ථික ප්‍රශ්නයට වඩා මේ රටේ ගුරුවරුන්ගේ හිගයක් පැවසීමත් සමඟ සමස්ත අධ්‍යාපනය කඩාවැටීමකට ලක් වෙමින් පවතින බවත් ඔවුහු පෙන්වා දෙති .

සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සමිති සංගමයේ විධායක සභික කථිකාචාර්ය ශාමන්ත දෙහිගලගේ මහතා කියා සිටියේ මේ වන විට ලංකාව පුරා ඇති සියලුම විද්‍යාපීඨ ඉගැන්වීම් සහ අනිකුත් සියලු කටයුතු මෙන්ම ගුරු සිසුන් බඳවා ගැනීම් ඉගැන්වීම් සියල්ල අතරමග නැවතී වසරක් ඉක්ම වී තිබෙන බවය.

එම සංවිධානයේ විධායක සභික කථිකාචාර්ය එස්. එම්.පී . බණ්ඩාර කියා සිටියේ මේ වන විට රට පුරා උග්‍ර ගුරු හිඟයක් පවතින බවය. අසූඅට අසූනවය කාලයේ බඳවාගත් ගුරුවරුන් තිස්දහසක් පමණ මේ වන විට මේ දිනවල විශ්‍රාම ගැන්වෙමින් පවතින බවත් වසරකට ගුරුවරුන් අටදහසක් පමණ විශ්‍රාම ගැන්වෙන බවය.

එම විශ්‍රාම ගැන්වෙන ගුරුවරුන් සඳහා නවක ගුරුවරුන් බිහි නොවීම රටේ බරපතළම අභාග්‍යයක් යැයි පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවේ දී ජාතික ගුරු අධ්‍යාපන විද්‍යා විද්‍යාපීඨ සුරැකීමේ දෙමව්පිය සංගමයේ සභාපති හිටපු විදුහල්පති අබේකෝන් හේරත් සඳහන් කළේ තම දරුවන් මෙන්ම දෙමව්පියන් සියලු දෙනාද විද්‍යාපීඨ ආරම්භ නොකිරීම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවය. එම නිසා රජය පොරොන්දු වූ පරිදි වහාම විද්‍යාපීඨ ආරම්භ කොට දෙමව්පියන්ට දූ දරුවන්ට සාධාරණීය ඉටු කර දෙන ලෙසය. කෙසේ වෙතත් අනෙකුත් දරුවන් මෙන් අරගලවලට නොඑන නිසා මෙම කෙනෙහෙලිකම් සිදුවෙන බව ද පෙන්වා දුන් ඒ මහතා ඉදිරියට දෙමව්පියන් දීප ව්‍යාප්ත අරගලයකට සූදානම් වෙන බවය.

සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමයේ විධායක සභික කථිකාචාර්ය ශාමන්ත දෙහිගලගේ

“අපි ලොකු අවදානමක වැටිලා තිබෙන්නේ. ලංකාවේ වීද්‍යාපීඨ දහනවයම මේ වන විට වහලා තියෙන්නේ, ඒවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යනවා . විද්‍යාපීඨ සියල්ල කඩිනමින් විවෘත කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.”

“ඒ වගේම ජනාධිපතිතුමා සෞභාග්‍යය දැක්ම යටතේ ප්‍රකාශ කරලා තියෙනවා විද්‍යාපීඨය විශ්වවිද්‍යාල බවට පත් කරනවා කියලා. මෙය කළ යුතුයි. එහෙම නැති වුණොත් රට බරපතළ හානියකට ලක් වෙනවා. එනිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා කඩිනමින් මෙම අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කරලා හෙට රට භාරගන්න ඉන්න දරුවන්ට ගුරුවරුන් බිහි කරන ආයතන ටික විවෘත කරන්න කියලා.”

“ඒ වගේම තමයි ගුරු විද්‍යාලවල වීද්‍යාපීඨවල මාර්ග ගත ඉගැන්වීම් වලින් ඉවත් වෙලා අපි වෘත්තීය සමිති අරගලයක වැඩවර්ජනයක නිරත වෙලා ඉන්නේ මාසෙකට වැඩි කාලයක්. අපි වෘත්තීය අරගල කරමින් සිටියත් මේක බලධාරීන්ගේ අවධානයකට යොමු වෙලා නැහැ. ඒක අපි පාරට බැහැලා කෑකෝ ගහලා අරගල කරන්න යන්නේ නැති නිසා තමයි ඒ අයට දැනෙන්නෙ නැත්තෙ. “

“අපි හොඳ විනයක් ශික්ෂණයක් ඇතිව දරුවන්ට උගන්වන ගුරු මව්වරු පියවරු හදන මිනිස්සු. ඒ නිසා අපි නිහඬව මේ යෝජනා රජය කරලා තියෙන්නේ කරුණාකරලා මේ මහා විනාශයෙන් රට ගලවගන්න එහෙම නැති වුණොත් අපට සිද්ධවේවි දෙමව්පියන් එක්ක මේ දරුවන්ගේ ගුරු මව්වරු ගුරු පියවරු නිෂ්පාදනය කරන තැන් අරගල කරන්න ඒ තැන් තැන්වලට පත් කරන්න එපා.”

සමස්ත ලංකා දෙමව්පිය එක්මුතුවේ සභාපති හිටපු විදුහල්පති අබේකෝන් හේරත්

” අපේ දරුවෝ ගෙවල්වලට වෙලා ඉන්නේ ඒ අයගේ සිහින ඔක්කොම බොඳ වෙලා. අවුරුදු ගණනාවක් තිස්සේ අධ්‍යාපනය ලබලා ගුරුවරුන් වීමේ සිහිනය දැකලා සුදුසුකම් ලබලා අද මානසික රෝගීන් බවට පත් වෙලා ඉන්නවා. වසරකට වැඩි කාලයක් ගුරු අධ්‍යාපන පීඨ සියල්ල වහලා මේ අය වීද්‍යාපීඨ වලින් එළියට ඇවිල්ලා නැවත උපාධිය කරන්න අවුරුදු තුනක් විතර මහන්සි වෙන්න ඕන. ඒ අයගේ ජීවිතය අවුරුදු හතකින් අටකින් ආපස්සට යනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා යෝජනා කළේ සෞභාග්‍යය දැක්මෙන් විද්‍යාපීඨ සරසවියක් බවට පත් කරලා උපාධිය ලබාදීල නිදහස් කරන්න. අපි ඉල්ලන්නේ කඩිනමින් මේ දේ කරන්න කියලා. එහෙම නැති වුණොත් රට පුරා ඉන්න දෙමව්පියන් රොද බැඳගෙන විරෝධතා රැලි තියන්න ඉඩ දෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

කේ .කේ .ආරියදාස – දඹුල්ල