විශ්‍රාම වැටුපෙන් කපා රක්ෂණයක් දෙනවාට විශ්‍රාමිකයින්ගෙන් විරෝධය

විශ්‍රාම වැටුපෙන් කපා රක්ෂණයක් දෙනවාට විශ්‍රාමිකයින්ගෙන් විරෝධය
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයට සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විරෝධය පළකර තිබේ.
 
ඒ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට අදාළව නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධයෙනි.
 
ඔවුන් පෙන්වා දෙන්නේ එලෙස හිතුවක්කාරී ලෙස විශ්‍රාමිකයින්ගෙන් මුදල් අයකර ගැනීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නොමැති බවයි.
 
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය 29 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.
 
2016 ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් මෙම මුදල අයකරගැනීමට යෝජනා කර තිබූ අතර එහි දැක්වුණේ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රු.600ක මුදලකුත්, වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රුපියල් 400ක මුදලකුත් මෙම රක්ෂණාවරණය සඳහා අයකරගන්නා බවයි.
 
එසේම රක්ෂණ යෝජනා ක්‍රමයට තම වැටුපෙන් මුදල් අයකරගැනීමට එකඟ නොවන විශ්‍රාමිකයන් මෙම චක්‍රලේඛය නිකුත් කළ දින සිට සති දෙකක් ඇතුළත තම අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැන්විය යුතුවිය.
 
කෙසේවෙතත් රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සංගම් රජයේ මෙම තීරණයට විරෝධය පළ කර ඇත.
 
සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ විධායක සභික එස්.එන්.බී.කේ. කරුණාරත්න මහතා, ඒ් පිළිබඳ මෙසේ අදහස් පළ කළේය.
 
"දැන් දිගින් දිගටම අපිට දුරකථන ඇමතුම් එනවා. සාමාන්‍යයෙන් අය වෙන්නේ රුපියල් 200ක්. ඒ යටතේ අග්‍රහාර හිමිකම අපි ඉල්ලා හිටියේ. අලුත් චක්‍රලේඛයෙන් ඒක වෙනස් කරලා හිතුවක්කාරීව මුදල් අයකිරීමට බලයක් නැහැ. කොට්ඨාස සංගම් හැටියට අපි රු.100ක් අයකරනවා. ඔය විදියටම අපි අපේ අයට ගෙවනවා. ආණ්ඩුවට බැරිද සාමාන්‍ය ලෙස දෙන්න. මේ චක්‍රලේඛයට ලොකු විරෝධයක් තියෙනවා. අපිව පාරට බස්සන්න ලෑස්තිවෙන්න එපා. අයුතුම යෝජනාව තමා සතිදෙකක් ඇතුළත දැන්වූයේ නැතිනම් කැමැත්ත ලබාදුන් සේ සලකා වැටුපෙන් මුදල් කපා ගැනීමට කටයුතු කරනවා. මේක හරිම අසාධාරණයි. අපි ආණ්ඩුවට කියන්නේ අපිත් පාරට බස්සලා කොවිඩ් හදන්න විශ්‍රාමිකයිනුත් දායක වුණා කීයලා කියන්න එපා කියලා."