වැඩකරන පන්තියේ සුබසාධන යට‍තේ ලෝක බැංකු පුළුල් ලෙස දායකවීම අත්‍යාවශ්‍යයි

nimal-world-bank

රටක පාරවල් පාලම් විතරක් හදලා ඒ රට සංවර්ධනය කළ නොහැක.රටේ ජාතික සංවර්ධනය සමබර වීමට නම් ඒ රටේ වැඩකරන පන්තියේ ජනතාවගේ සුබසාධනයත් ඉහළ මට්ටමක තිබිය යුතු නිසා ලෝක බැංකුව සිය ආධාර ලබා දීමේදී භෞතික දියුණුවටසේම කම්කරු  පන්තියේ ජනතාවගේ  සුභ සාධනය වෙනුවෙනුත් ප්‍රමාණවත්  මුදල් වෙන් කිරීමක් කළ යුතුයැයි  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ක්‍රියාකාරී ප්‍රධානී රෙනේ ලිඔන් සොලානෝ (Rene Leon Solano) මහතා  සමග පැවති විශේෂ සාකච්ඡාවේදී ය.

අද අප රටේ පෞද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු පනස් පන්දහසකට (55,000) වඩා පවතිනවා.එහෙත් තරුණ පිරිස පෞද්ගලික අංශයේ රැකියා සඳහා යාමට මැලිකමක් දක්වන්නේ ඔවුන්ට රාජ්‍ය අංශයේ මෙන් විශ්‍රාම වැටුප් වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ රැකවරණ වැඩ සටහනක් නොමැති නිසාය. එම නිසා මේ රටේ තරුණ පිරිස පෞද්ගලික අංශයේ  රැකියා සඳහා ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන්ට සිය අනාගතය පිලිබඳ ස්ථිර රැකවරණයක් ලබා දෙන වැඩ පිළිවෙලක් අපි ඉදිරිපත් කළ යුතුයි.

ඒ සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කිරීමට මේ වන විටත් අපි මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා තාක්ෂණ සහයෝගය සහ පදනම් අරමුදල ඇති කිරීමට ලෝක බැංකුවේ සහාය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ වන විට මෙරට විගමණික ශ්‍රමිකයන්ට  විශේෂ රක්ෂණ ක්‍රමයක් සහ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී ලෝක බැංකුව නියෝජිතයන්ට පැහැදිලි කර දුන්නේ ය.

මේ වන විට මාලදිවයිනේ හා ඉක්වදෝරයේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළ පිළිබඳ කරුණු සොයා බලා  ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ අරමුදලට එම වැඩසටහන් ආදර්ශයක් කර ගන්නා ලෙස  ලෝක බැංකු නියෝජිතයන් මෙහි දී ඇමැතිවරයා ගෙන් ඉල්ලා සිටියේය.

පෞද්ගලික අංශයේ  වෘත්තිය සමිති, හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තු  නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවක් තුළින් මේ පිළිබඳ අධ්‍යයනය කරන බව අමාත්‍යවරයා පැවසූ අතර ,ඉදිරි වර්ෂයේ  ලෝක බැංකුවේ අරමුදල් සැලැස්මට ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ අරමුදල  ඇරඹීමට තාක්ෂණ සහයෝගය හා  මූලික අරමුදල්  ප්‍රාග්ධන සැපයුම ලබාදීමද ඇතුලත් කරන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ගයාන් කෞෂල්‍ය මහතා ද සහභාගී වූහ.