ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයෙන් අනතුරු ඇඟවීමක්

සමස්ත රාජ්‍ය සේවයටම සරිලන ආකාරයට අවම වශයෙන් රුපියල් 18,000ක වැටුප් හෝ දීමනා වැඩිවීමක් මෙවර අයවැය යෝජනාවලියෙන් ලබානොදුනහොත් නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

ඒ බව එම සම්මේලනයේ ජාතික සංවිධායක බී.ඒ.පී.බස්නායක මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් දන්වා තිබේ.

2022 අයවැය යෝජනාවලියෙන් රාජ්‍ය සේවකයන් නොසලකා හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත්තේ පසුගිය 13 වෙනි දිනයේදීයී.

එහි මෙසේද සඳහන්ය.

"භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රථමව පැවති ජීවන වියදමට සාපේක්ෂව ලැබුණු වැටුපද සෑහිමකට පත්විය නොහැකි තත්ත්වයක තිබුණි. රාජ්‍ය අංශයේ සංගණන අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මසකට සාමාන්‍යයෙන් රුපියල් 58,000ක වියදමක් යන බව සඳහන් කර තිබුණි.

එවැනි තත්ත්වයක් තුළ මසකට වරක් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් 2022 අයවැයෙන් වැටුප් හෝ දීමනා වැඩිවීමක් දැඩිව අපේක්ෂා කරන ලදී. නමුත් අයවැය සභාගත කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයින් කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුකර ඇති බව මනාව පැහැදිලි වේ.

ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ලෙස සමස්ත රාජ්‍ය සේවයටම සරිලන ආකාරයට අවම රුපියල් 18,000ක වැටුප් හෝ දීමනා වැඩිවීමක් අපේක්ෂා කරනු ලබන අතර එසේ නොමැතිනම් ඉදිරියේදී සමස්ත රාජ්‍ය සේවයම මේ ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග වෙත යොමුවන බව කනගාටුවෙන් වුවත් දැනුම් දෙමු.

2022 අයවැය සඳහා රාජ්‍ය සේවකයින්ට දීමනා ලබාදීමට ඉදිරි සති දෙක ඇතුළත කටයුතු කරන මෙන් ඉල්ලා සිටින අතර එසේ නොමැති වුවහොත් නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව මෙයින් දන්වා සිටිමු."