කැළණිවැලි වතු සමාගම කම්කරු නීති උල්ලංඝනය කරනවා

කැළණිවැලි වතු සමාගම කම්කරු නීති උල්ලංඝනය කරනවා

කැළණිවැලි වතු සමාගම පාලනය⁣ කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ වතුවල  බරපතල ලෙස කම්කරු නීති උල්ලංඝනය කරමින් සේවකයන් පීඩාවට පත්කරන බවට එම වතු සේවකයන් නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වූ එම වැවිලි සමාගමේ සේවක වෘත්තීය සමිති පහක නියෝජිතයෝ මෙම කැළණිවැලි වතු සමාගම සිදු කරන කම්කරු නීති උල්ලංඝනයන්  පිළිබඳ අමාත්‍යවරයාට දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන්හ. කැලණිවැලි වැවිලි සමාගම විසින් පාලනය කරනු ලබන පනාවත්ත, ලෙවන්වත්ත, ගනේපල්ල, ඉන්ඔය, අල්ගොල්ල, වීඔය, කැළණි වතුයාය, ඇදුරාපොල, උරුමිවලවත්ත, කළුපහන, කිරිපෝරුව  සහ දේවාලකන්ද යන වතුවල සේවක නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්වූහ.

ඉරිදා සේවය  වෙනුවෙන් නීති ප්‍රකාරව දින එකහමාරක වැටුප් නොගෙවීම, සිල්ලර වැඩකරන වතු සේවකයන්ට මාසයට නියමිත දින ගණන වැඩ නොදීම, තේ සහ රබර් ලබාදෙන කිලෝග්‍රෑම් සංඛ්‍යාව වැඩි කිරීම, පූර්ණ දිනයක් වැඩ කළ ද එය දින භාගයක් ලෙස සඳහන් කිරීම හෝ රුපියල් හත්සීයක දෛනික වැටුප් තලයේ තබා වැටුප් ගෙවීම, වතුවල වැටි බැඳීම, පාංශු සංරක්ෂණය හෝ නව තේ වගා ප්‍රමාණවත් තරම් නොකිරීම, කම්කරු නිවාස අළුත්වැඩියා නොකිරීම හා අදාල සුබසාධක කටයුතු නොකිරීම, ඇතුළු චෝදනා රැසක් එල්ල කරමින් තමන්ට සහනයන් සහ සාධාරණය ඉටුකර දෙනමෙන් මෙම වෘත්තීය සමිති නියෝජිතයෝ ඉල්ලා සිටියහ.

එසේම මෙතෙක් සිදු කළ වෘත්තිය සමිති සඳහා සාමාජික මුදල් සාමාජික වැටුපෙන් කපා එවීම  නතර කිරීම පඩිපාලක සභා ආඥා පන⁣ත යටතේ වැරදි බව කම්කරු දෙපාර්තමේන්තු  නිලධාරීන් කැළණිවැලි සමාගමට දැනුම් දුන්න ද සමාගම් පාලකයන් එය මේ දක්වා නිවැරදි කර නොමැති බව මෙම නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

මේ පිළිබඳ නිසි විමර්ශනයක් කර කඩිනමින් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ද කැළණිවැලි වතු සමාගමේ සහ වෘත්තිය සමිති නියෝජිත දෙපාර්ශවය කැඳවා මෙම ගැටලුව සුහදව නිරාකරණය කිරීමට පියවර ගන්නා මෙන් කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

එසේම දැනට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් පිළිබඳ අධිකරණයේ ගොනුකර ඇති නඩුව අවසන් වූ වහාම වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ගෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයන්ට පැවසීය.

මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ ටී.අරුලප්පන්, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ඒ. ක්‍රිෂ්ණ කුමාර්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ චන්ද්‍රසේන, ලංකා වතු සහ කර්මාන්ත සේවක සංගමයේ ඩී. මාරුමුත්තු, සහ කඳුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය භාණ්ඩාගාරික පී. ජෙගනාදන්, ජාතික කම්කරු සංගමයේ මන්ත්‍රී කුමාර්  යන වෘත්තීය සමිති නියෝජිතයෝ ද කම්කරු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අකිල ගයාන් කෞශල්‍ය මහතා ද එක් වූහ.

nimal kelaniweli tu