වසංගතයෙන් පසු ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරියට ගෙනයාමට “කොළඹ ප්‍රකාශනය”

colombo-bill

කොවිඩ් වසංගතයෙන් පසු ලොව පුරා ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරියට ගෙනයාම පිළිබදව “කොළඹ ප්‍රකාශනය” නමින් විශේෂ ප්‍රකාශනයක් පසුගියදා මෙරට දී එළිදක්වනු ලැබීය.

කොවිඩ් වසංගතය තුළ දරුවන්ගේ ක්‍රීයාකාරීත්වය හා සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ ප්‍රකාශනය එළිදැක්විනි.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 25 වන සැමරුමට සමගාමීව කොළඹ ගලදාරි හෝටලයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ සහභාගීත්වයෙන් මෙම එළිදැක්වීම සිදු විය.

“කොළඹ ප්‍රකාශනය” ලෙස නම් කෙරුණු මෙය "2021.11.11" දින එළිදැක්වීමද විශේෂත්වයකි.

වසංගතයෙන් පසු ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව මෙම විශේෂ ප්‍රකාශනය තුළින් අර්ථාන්විතව නව අර්ථකථනයක් දියහැකි බැව් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොවිඩ් වසංගත තත්ත්වය සමග දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා මෙවැනි ප්‍රකාශනයක් නිසි වේලාවට සකස් කිරිම පිළිබද සිය ප්‍රශංසාව පිරිනමන බවයි.  තමා ‍ මෙම ප්‍රකාශනය කියවූ බවත්, ප්‍රකාශනයට අනුව දරුවන්ගේ එන්නත්කරණය හා මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමට කටයුතු කිරිම ඉතාම කාලෝචිත ක්‍රියාවක් වන බැවින්, මෙම ප්‍රකාශනය ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, යුනෙස්කෝ ආයතනයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගෙනයාමට තමන් මූලිකත්වය ගන්නා බවද පැවසීය.  මෙරට පමණක් නොව ලොව පුරා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරිමට මෙවැනි ලොවට ඵලදායි යෝජනා වලට අදාලව ජාත්‍යන්තර තාක්ෂණය හා දැනුම අප රටට ලබාදීමට  ජාත්‍යන්තර සංවිධානයන් මෙයට පෙරද තමා හට එකගතාවය පළකොට තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

කොළඹ ප්‍රකාශනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අත්සන් තැබූ අතර, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමන් රජින්ද්‍රජිත් එහි ලේකම් වෛද්‍ය චන්න ද සිල්වා හා වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්වරුන් විසින් අත්සන් තබනු ලැබීය.

මෙයට අමතරව දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගම්වල සභාපතිවරු, ආසියානු ෆැසිපික් කලාපයේ ළමා රෝග විශේෂඥයින්, අන්තර්ජාතික ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ  සභාපති, එංගලන්ත රාජකීය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සභාපතිනිය මෙම ප්‍රකාශනය සදහා අත්සන් තබා තිබේ.

මෙම කොළඹ ප්‍රකාශනය තුළ ප්‍රධාන වශයෙන් කරුණු 06 ක් ඇතුළත් වේ.

ඒ අනූව  ළමුන්ට නැවත පාසල් අධ්‍යාපනය ලබාදීම, මන්දපෝෂණය හා අධිපෝෂණය පිළිබද ගැටළු, ළමුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබද ගැටළු, අවතැන් වූ ළමුන් පිළිබද ගැටළු, ළමුන්ගේ සෞඛ්‍යයට පරිසර වෙනස්වීම් බලපාන ආකාරය, ළමුන් කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත්කරණයට ලක්කිරීම යන කරුණු මෙයට ඇතුළත්ය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය ජී. විඡේසූරිය, වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්ද එක්ව සිටියහ.