ලංගම සේවකයින්ට රුපියල් තිස්දාහක අත්තිකාරම් මූදලක් ඉල්ලයි

ctb

ශ්‍රී ලංගම සේවකයින් හට ප්‍රසාද දීමනා සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 30,000/- ක මුදලක් කඩිනමින් ලබාදීමට මැදිහත් වන ලෙස මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වෙත සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංගම සේවකයින් හට ප‍්‍රසාද දීමනා වශයෙන් රු. 15,000/- ක මුදලක් ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 15,000/- ක මුදලක් ද වශයෙන් රුපියල් 30,000/- මුදලක් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස අප සංගමය ප්‍රථමයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

ශ්‍රී ලංගම සේවකයින් ඔවුන්ගේ ජීවිත වලට සිදුවිය හැකි හානිය පවා නොතකා #කොරෝනා වෛරසය දීප ව්‍යාප්තව තිබූ කාලය තුලත් මේ මොහොතේත් ජනතාවට යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීම වෙනුවෙන් ඔවුන් දැවැන්ත කැප කිරීමක් සිදුකළ අතර, මේ මොහොතේ පවා එම ක්‍රියාවලිය සිදුකරමින් සිටී. ශ්‍රී ලංගම සේවකයින් මෙම කැපකිරීම සිදුකරනු ලබන්නේ මනා අවබෝධයකින් යුතුවය. #කොරෝනා උවදුර වලක්වා ගැනීමට විධිමත් අංග සම්පූර්ණ සෞඛ්‍ය පහසුකම් පවා මෙම සේවකයන්ට ලබා දෙන්නේ නැත. 

මෙම මොහොතේ අප රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බූදය නිසාම පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අධික මිලක් දැරීමට සිදුවේ. එම නිසාම පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අවම වශයෙන් රු. 15,000/- ක මුදලක් නැවත ගෙවීමේ පදනම මත ලබා දෙන ලෙසත්, ප‍්‍රසාද දීමනා මුදල වශයෙන් රු. 15,000/- මුදලක් ලබා දෙන ලෙසත් ඒ අනුව, රුපියල් 30,000/- මුදලක් ශ‍්‍රීලංගම සේවකයින් හට ලබාදීමට මැදිහත් වන ලෙසත් අප සංගමය ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

පසුගිය වසර තුල අප සංගමය මෙම මුදල ඉල්ලා සිටියමුත් ලබාදුන්නේ ප‍්‍රසාද දීමනා වශයෙන් රුපියල් 13,500/- ක මුදලක්ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා ගෙවීම් පදනම මත රුපියල් 10,000/- ක මුදලක්ද වශයෙන් රුපියල් 23,500/- ක මුදලක් පමණි. මෙම වසර තුල රටේ සියලූම දේවල් අධික ලෙස මිල ඉහළ ගොස් ඇති නිසාම රුපියල් 30,000/- ක සමස්ත මුදලම කිසිදු වර්ගීකරණයකින් තොරව සියලූම ශ්‍රී ලංගම සේවකයින් හට ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස නැවත වතාවක් අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර, අදාල පිටපත් ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා මේ සමඟ අමුණා එවන්නෙමු.