ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් කිරීම ගැන ලංකාවට පැසසුම්

ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් කිරීම ගැන ලංකාවට පැසසුම්

ශ්‍රී ලංකාව 'ළමා ශ්‍රමයෙන් තොර කලාපයක්' බවට පත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා මහතා ප්‍රසාදය පළ කර සිටී.

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින, සමකාලීන වහල්භාවය සහ ඊට මූලික වන හේතු සහ ප්‍රතිවිපාක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා මහතා, විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්ථාවේදී මෙලෙස ප්‍රසාදය පළ කළේය.

කම්කරු සුබසාධන කටයුතුවලට අදාළව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා රජය ගෙන ඇති ඵලදායී පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා මෙම හමුවේ දී සාකච්ඡා කරන ලදී.

ළමා ශ්‍රමිකයන්, සංක්‍රමණික සේවකයන් සහ ණය බන්ධන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි කම්කරු නීති සකස් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා එක්සත් ජාතීන් ගේ විශේෂ නියෝජිතයා වෙත විස්තර කළේය.

 අවදානමට ගොදුරු විය හැකි කම්කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් පසුවන බව පෙන්වා දුන් විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ව්‍යුහය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව ද පැවසුවේය.

අදාළ එක් එක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති අත්දැකීම්වල විශේෂතා අවබෝධ කර ගැනීමට මෙන්ම, අපගේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන පරිදි දේශීය ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා, විශේෂ ක්‍රියාපටිපාටි පිළිබඳ බලතල දරන්නන්ගේ මෙවැනි සංචාර උපකාරී වී ඇති බව ද අමාත්‍යවරයා  ප්‍රකාශ කළේ ය.

එහිදී ශ්‍රී ලංකාව 'ළමා ශ්‍රමයෙන් තොර කලාපයක්' බවට පත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා මහතා සිය ප්‍රසාදය හා ස්තූතිය ශ්‍රී ලංකා රජය වෙත පළ කළේය.

 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image