අසාද් සාලි තීන්දුව, නීතිය අවභාවිත කළ බව පෙන්වා දුන් අවස්ථාවක් -  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අසාද් සාලි තීන්දුව, නීතිය අවභාවිත කළ බව පෙන්වා දුන් අවස්ථාවක් -  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මත අත්අඩංගුවට පත් ව අධිකරණ ක්‍රියාදාමය අවසන් වන තෙක් සිරගතව සිටි අසාද් සාලි නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කිරීම, නීතිය අවභාවිතා කිරීමට දේශපාලන බලාධිකාරීන් උත්සාහ දරන අන්දම පෙන්වා දෙන අවස්ථාවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අසාද් සාලි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චෝදනා ගොනු කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර් පනත භාවිතා කරමිනි. එම තත්ත්වය තුළ ඔහුට මාස අටකට ආසන්න කාලයක් ඇප නොලබා සිරගතව සිටීමට සිදු විය. මෙලෙස නීතිය අවභාවිතා කිරීම නිසා පසුගිය කාලයේ තවත් සමාජ ක්‍රියාකාරීන් සහ කලාකරුවන් ගණනාවකට සිරදඬුවම් විඳීමට සිදු වූ අතර ඔවුන්ට අහිමි වූ මානව අයිතීන් පිළිබඳ සමාජ කතිකාව දෙස රාජ්‍යයේ අවධානය යොමු වූයේද නැත.

අසාද් සාලි අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලීසිය භාර ඇමතිවරයා මාධ්‍යය අමතා කළ ප්‍රකාශවල පාස්කු ප්‍රහාරය පිළිබඳව පවා සඳහන් විය. මේ සිදුවීම් සියල්ල අධ්‍යනය කරන විට පෙනී යන්නේ දේශපාලන බලය වෙනුවෙන් ඉතා නිර්ලජ්ජිත ලෙස නීතිය අවභාවිතා කිරීමට මෙරට දේශපාලනය පෙළඹෙන බවයි. මෙය අනාගතයේදීද තර්ජනාත්මකව ක්‍රියාත්මක විය හැකි සහ ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක් විය හැකි තත්ත්වයක් ලෙස දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් විවෘත හා පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය විය යුතු බවයි.