බලපත්‍රය අවභාවිතා කරමින් වංචාකළ විදේශ රැකියා ඒජන්සි හිමියෙකු අත්අඩංගුවට

බලපත්‍රය අවභාවිතා කරමින් වංචාකළ විදේශ රැකියා ඒජන්සි හිමියෙකු අත්අඩංගුවට

විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කළ කම්කරු බලපත්‍රය අවභාවිතා කරමින් බාහිර පුද්ගලයින් යොදවා තරුණ තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් නීති විරෝධි ලෙස ලබාගත් ඒජන්සි ආයතන හිමියෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම ඒජන්සි ආයතන හිමියා තම කම්කරු බලපත්‍රය ඇටෝනි බලපත්‍රයක් මගින් වෙනත් බාහිර පුද්ගලයෙකුට පවරා ඇති අතර, විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍ර අංශය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රය එලෙස වෙනත් පුද්ගලයෙකුට පැවරීම නීති විරෝධි වේ.

මෙලෙස‍ බාහිර පුද්ගලයෙකු යොදවා විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් හැට ලක්ෂයකට අධික මුදලක් ලබාගෙන ඇති අතර, ඔවුන් විදේශ ගත නොකිරීම හේතුවෙන් මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර, මේ වන විට පැමිණිලි 41ක් ලැබී ඇත. 

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ සහ කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් මොහු අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කරන ලද අතර, ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

මෙම වැටලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නෙළුම් සමරසේකර මහත්මියගේ මෙහෙයවීම මත කපිල කරුණාරත්න, සරත් විමලවීර, ඉඳුනිල් පුෂ්පකුමාර, නාලක මාමල්ගහ හා රඛිත වැළිකුඹුර යන නිළධාරිහු සහභාගි වූහ.