කොවිඩ් වසංගත තත්ත්වය පාලනයෙන් බැහැරවීම ගැන ජනාධිපතිවරයාගෙන් පරික්ෂණයක් ඉල්ලයි

කොවිඩ් වසංගත තත්ත්වය පාලනයෙන් බැහැරවීම ගැන ජනාධිපතිවරයාගෙන් පරික්ෂණයක් ඉල්ලයි

ඔමික්‍රෝන් වැනි නව ප්‍රභේද රටට ඇතුළු වීම, කෝවිඩ් පාලනය සඳහා පවතින මාර්ගෝපදේශ ප්‍රමාණවත් නොවීම සහ පවතින මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් රට තුලට ඇතුළුවීම පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  ශ්‍රී ලංකාව තුලදී හඳුනා ගැනුනු පළමු ඔමික්‍රෝන් අසාධිතයා කිසිඳු එන්නතක් ලබා නොගෙන රටින් පිටවී ඇති අතර ඔමික්‍රොන් අසාධිතව රටට ඇතුළු වී ඇත. එසේම පසුගිය 9 වැනිදා රටට ඇතුළු වී ඇති ඉන්දියානු ජාතිකයෙකු 2021-12-11 වැනි දින නැවත පිටත් වීමේදී සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණයකින් ආසාධිතයෙකු බව තහවුරු කර තිබියදී ඔහු නැවත ඉන්දියාවට පිටව ගොස් ඇති බව වසංගත රෝග අංශයේ ප්‍රධානියා විසින් මාධ්‍යයට වාර්තා කොට ඇත.

එන්නත්කරණය සම්පූර්ණ නොකරන ලද වැඩිහිටි පුද්ගලයන්ට රටෙන් පිටව යාමේ හෝ රටට ඇතුළු වීමේ නීත්‍යානූකූල ක්‍රමවේදයක් නොමැති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින නීතියට පිටින් යම්කිසි පාර්ශ්වයකට එවැනි ඉඩකඩක් ලබා දී ඇති බවත්, මෙමඟින් තහවුරු වන අතර ඒ හරහා ඔමික්‍රොන් වැනි නව ප්‍රභේද රටට ඇතුළු වෙමින් රටේ මහජනතාව අනවශ්‍ය අවධානමකට ලක් කොට ඇත. එසේම එන්නත්කරණය කරන ලද පුද්ගලයන් කිසිඳු පරීක්ෂණයකින් තොරව රටට ඇතුළු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලැබ ඇති අත්තනෝමතික තීරණය හේතුවෙන් ඔමික්‍රෝන් වැනි නව ප්‍රභේද රටට ඇතුළුවීමට ඉඩසලස්වා ඇති බවත් පවතින නීතිමය රාමුවට පිටින් ඔමික්‍රෝන් ආසාධිත පුද්ගලයා ඉන්දියාවට පිටත් කර හැරීම මඟින් ඔමික්‍රෝන් ආසාදනය ලොව පුරා ප්‍රචාරය කිරීමටද අපේ රටේ ලිහිල් වසංගත ප්‍රතිපත්තිය ඉවහල් වී ඇති බව තහවුරු වී ඇත.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රටේ සෞඛ්‍ය සේවාව අපකීර්තියට පත්වීම වැලැක්වීම සඳහාත් රටේ මහජනතාව අනවශ්‍ය අවධානමකට ලක්වීම වැලැක්වීම සඳහාත් ඉහත පරිදි එන්නත්කරණය නොකරන ලද පුද්ගලයන් රටින් පිටවී ඇති සහ නැවත රටට ඇතුළු වී ඇති ක්‍රමය පිළිබඳවත් ආසාධිතයකු බව තහවුරු කර තිබියදීත් නිසි නිරෝධායනයකට ලක් නොකොට රටින් පිටව ගොස් ඇති ආකාරය පිළිබඳවත් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

එසේම වසංගත රෝග පාලනයේදී බරපතල ලෙස සිදුවෙමින් පවතින මෙවැනි අඩුපාඩු යම් ප්‍රමාණයකට හෝ හෙලිදරව් වන්නේ විශාල නිල බාධා කිරීම් රැසක් මධ්‍යයේ ඉතා අවම මට්ටමින් සිදුකරන පීසීආර් හා ප්‍රභේද පරීක්ෂණ ප්‍රමාණයකින් වන අතර, එම හෙලිදරව් වීම වැලැක්වීම සඳහා එම පරීක්ෂණ ප්‍රමාණයද අවහිර කිරීමට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කල හැකි බැවින් ඒ පිළිබඳවද අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

එසේම මෙම සමස්ථ තත්ත්වය නිරීක්ෂණය කරමින් හෝ අත්තනෝමතිකව නවතා දමා ඇති රටට ඇතුළුවීමේදී සිදුකල යුතු පීසීආර් පරීක්ෂණය සහ ප්‍රභේද පරීක්ෂණ විධිමත්භාවයකින් යුතුව වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ආරම්භ කරන ලෙසත්, එමඟින් විශාල පීඩාවන් රැසක් මධ්‍යයේ කටයුතු කරන රටේ මහජනතාව තවත් අනවශ්‍ය පීඩාවන්ට ලක් වීම වලක්වා ගන්නා ලෙසත් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.