වෛද්‍ය සාෆීගේ වැටුප් ගෙවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිළි කිරීමක්

වෛද්‍ය සාෆීගේ වැටුප් ගෙවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිළි කිරීමක්

වෛද්‍ය එස්. එස්. එම්. සාෆී මහතාගේ අනිවාර්ය නිවාඩු කාලයේ වැටුප් සම්බන්ධව නිකුත් කෙරුණු ලිපිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට, අතිරේක ලේකම් (පාලන) 01,  ඩී. එල්.යූ. පීරිස් මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ,

වෛද්‍ය එස්. එස්. එම්. සාෆී මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී ඔහු විසින් සිදු කරන ලැබූ සිසේරියන් සැත්කම්වලදී සිංහල කාන්තාවන් වඳ භාවයට ලක්වන අයුරින් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වීම මත ඒ සම්බන්ධයෙන් සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුක්ත විද්වත් කමිටුවක් පත්කොට විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කල අතර ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවට 2019.06.11 වාර්තා කරනු ලදුව, වෛද්‍ය සාෆි මහතා අනිවාර්ය නිවාඩු ගැන්වීම සඳහා සෞඛ්‍ය සේවා කමිටුව විසින් 2019.06.11 දිනැතිව අනුමැතිය ලබා දී ඇත.

මූලික විමර්ශනය සඳහා පත්කල විද්වත් කමිටුව විසින් 2020.01.20 දිනැතිව අතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් විමර්ශන කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවන බැවින් වෛද්‍ය සාෆී මහතා තවදුරටත් අනිවාර්ය නිවාඩු මත තැබීම නිර්දේශ කර ඇත.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තෙන් ඇපමත නිදහස් වීමෙන් පසු වෛද්‍ය සාෆි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස අවස්ථා කිහිපයකදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අභියාචනා ඉදිරිපත් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් අනිවාර්ය නිවාඩු ගැන්වීම සුදුසු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත නිර්දේශ කරන ලදුව එකී කමිටුව විසින් 2020.10.12 දිනැතිව තවදුරටත් අනිවාර්ය නිවාඩු මත තැබීම සඳහා එකඟතාවය ලබාදී ඇත.

වෛද්‍ය සාෆී මහතා විසින් 2021.10.27 දින සෞඛ්‍ය ලේකම්ට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිපි ඉදිරිපත් කරමින් තමන්ට අනිවාර්ය නිවාඩු ගැන්වීමේ කාලය සඳහා කිසිදු වැටුපක් ගෙවා නොමැති බවටත් ඒ අනුව වැටුප් ගෙවන ලෙසට හා නැවත සේවයේ පිහිටුවන ලෙසටත් ඉල්ලීම් කර ඇත.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය‌ සේවා කමිටු ලේකම්ගේ අංක HSC/DIS/028/2019 හා 2021.11.30 දිනැති ලිපිය මගින් අනිවාර්ය නිවාඩු ගන්වා ඇති වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XII වන පරිච්ජේදයේ 20.2 වගන්තියට අනුකූලව ක්‍රියා නොකිරීමට හේතු කවරේද යන්න  විමසීමට අනුව එකී සෞඛ්‍ය සේවා කමිටුව වෙත වාර්තා කිරීම සඳහා ආයතන සංග්‍රහයේ XII වන පරිච්ජේදයේ 20.2 වගන්තියට අනුව වැටුප් ගෙවන ලෙසත් එසේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතු ඉදිරිපත් කරන ලෙසත් කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෙත දන්වා ඇත.

අනිවාර්ය නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ජේදයේ 20.1 හා 20.2 වගන්තිවලට අනුව සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බැවින් වෛද්‍ය සාෆි මහතාට අනිවාර්ය නිවාඩු ගැන්වූ කාලය සඳහා ඔහුට හිමි විය යුතු වැටුප් ගෙවන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෙත උපදෙස් ලබා දී ඇති අතර කිසිදු අවස්ථාවකදී ඒ මහතා නැවත සේවයේ පිහිටුවීමට උපදෙස් ලබාදීමක් හෝ නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමක් සිදු කර නැත.

ඩී. එල්.යූ. පීරිස්

අතිරේක ලේකම් (පාලන) 01 

ලේකම් වෙනුවට

සෞඛ්‍ය අමාත්‍යාංශය