“බෝනස් නෑ- වැඩි පඩි නෑ“ එස්කුවල් ලංකා කම්කරුවෝ වැඩ වර්ජනයේ

“බෝනස් නෑ- වැඩි පඩි නෑ“ එස්කුවල් ලංකා කම්කරුවෝ වැඩ වර්ජනයේ

ඉහල යන ජිවන වියදම හමුවේ තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පෞද්ගලික අංශ කම්කරුවෝ වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

'එස්කුවෙල් ලංකා' සමුහයට අයත් ජා ඇළ ඒකල කර්මාන්ත ශාලාවේ කම්කරුවන් පැමිණීමේ දීමනාව හා රුපියල් තුන් දහසකින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වරා සිටින්නේ පසුගිය14 වැනිදා සිටය.

''සාමුහික ගිවිසුම අනුව මාස දෙකක බෝනස් දෙන්න ඕනෑ, ගිය අවුරුද්දේ කොරෝනා වසංගතය නිසා මාසයක බෝනස් එකක් දුන්නේ, මේ අවුරුද්දෙත් කොම්පැනිය කියන්නේ මාස එක හමාරක බෝනස් එකක් දෙන්නම්,පඩි වැඩි කරන්න බැහැ කියලා,'' යැයි ජා ඇළ, ඒකල එස්කුවෙල් ලංකා සමාගමේ කම්කරුවන්ගේ වර්ජනයට නායකත්වය සපයන නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාර්කස් පවසයි.

කලින් පොලිටෙක්ස් ලංකා ලෙස පැවති මෙම සමාගම පසුව කළමනාකාරිත්වය වෙනස් වීමත් සමග එස්කුවෙල් ලංකා නම් විය.

හොංකොං ආයෝජකයෙකුට අයත් අපනයනය සඳහා නිමි ඇඳුම් නිෂ්පාදනය කරන මෙම සමාගමට ඒකල ට අමතරව කොග්ගල සහ කෑගල්ලේ කර්මාන්තශාලා පවත්වා ගෙන යන අතර යක්කල පිහිටි කර්මාන්ත ශාලාව මිට වසර දෙකකට ඉහතදී වසා දැමිණි.

4000 කට වැඩි කාන්තා හා පිරිමි කම්කරුවෝ මේ කර්මාන්ත ශාලා තුනේ සේවය කරති.

ඒකල සහ කොග්ගල නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය සමගත්  කෑගල්ල එස්කුවෙල් කම්කරුවෝ වෙළඳ, කර්මාන්ත හා පොදු සේවක සංගමය සමගත් සංවිධානය වී සිටිති.

''ඇණවුම්  සියයට හැත්තෑවකින් පහත වැටිලා නිසා බෝනස් දෙන්න පඩි වැඩි කරන්න බැහැ කියලා සමාගම කියනවා, එත් ඒ ගොල්ලන්නට ඇණවුම් තිබුණු වෙලාවෙත් බෝනස් දුන්නේ නැහැනේ, සියළුම ලාභය ඒ ගොල්ලෝ ගත්ත මිසක්, කම්කරුවන්ට දුන්නේ නැහැනේ, කොහොම නමුත් නීතිය අනුව මාස දෙකක බෝනස් දෙන්න ඕනෑ,'' යැයි ද ඇන්ටන් මාර්කස් අවධාරණය කරයි.

එස්කුවෙල් ලංකා කම්කරු සටන සමථයකට පත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව ගත් පළමු උත්සහාය අසාර්ථක වී ඇත්තේ කම්කරු ඉල්ලීම් ලබා දීමට පාලකයන් එකඟ නොවීම නිසාය.

වෘත්තීය සමිති නායක මාර්කස් පවසන්නේ කම්කරුවන්ගේ ඉල්ලීම් ගැන දෙසැම්බර් 20 වැනිදා කම්කරු කොමසාරිස් ජෙනරාල් සමඟ සාකච්ජාවක් පවත්වන බවය.

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයට අනුව එස්කුවෙල් සමාගම් ජාත්‍යන්තරය චීනයේ දී නිමි ඇඳුම් නිෂ්පාදනයට සිරකරුවන් යොදා ගැනීම මගින්  කම්කරු නීති උල්ලංඝනය හේතුවෙන් ඇමෙරිකාවේ කළු සමාගම් ලැයිස්තුවට ඇතුලත් වී තිබේ.

FGt1NlsWUAIdX5q

(the leader)