කොවිඩ් ප්‍රභේද සොයන ජයවර්ධනපුර රසායනාගාරය ඉවතට

කොවිඩ් ප්‍රභේද සොයන ජයවර්ධනපුර රසායනාගාරය ඉවතට

ඉන්දියානු ජාතිකයෙකු ඔමික්‍රෝන් රැගෙන රටට පැමිණියේත්, රටපුරා වසංගතය සම්ප්‍රේෂණය කර ඇත්තේත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ වල පවතින දුර්වලකම නිසාය. සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ හැදීමේදී වසංගත පාලනයට වඩා, මාර්ගෝපදේශ හැදීම සදහා ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සිටින කිහිප දෙනෙකුගේ පෞද්ගලික අභිමතයට යට වෙමින් කටයුතු කිරීම මෙම තත්වයට ප්‍රධාන හේතුවකි.

ඉන්දියානු ජාතිකයාට ඔමික්‍රෝන් වැලදී ඇති බව හා රටට ඇතුළු වූ අනෙකුත් ප්‍රභේද පිළිබදව සොයා ගැනීම් මේවන තෙක් සිදු වී ඇත්තේ රාසායනාගාර කාර්යමණ්ඩලයේ කැපවීම හා ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාරයේ ස්වෙච්චා කැපවීම මතය.

කෙසේ නමුත් පවතින මාර්ගෝපදේශ වලට අනූව, ඉන්දීයානු ජාතිකයාගේ ප්‍රභේද පරීක්ෂණය සිදු කල නොහැකි අතර, රටින් පිටව යන පුද්ගලයින්ගේ, එන්නත් දෙකම ලබාගෙන ඇති අයගේ සහ එන්නත් නොමැති ආසාදිතයෙකු වුවද, අසාදනයේ ප්‍රමාණයට අනූව ඊනියා මාර්ගෝපදේශ විශේෂඥයින් නිර්දේශ නොකරන කිසිවෙකුගේ හෝ ප්‍රභේද පරීක්ෂණ සිදු කල නොහැක.

එන්නත් සියල්ල විද ඇති ඉන්දීයානු ජාතිකයාට ඔමික්‍රෝන් වැලදී ඇති බව තහවුරු වීමත් සමගම එකී ඊනියා මාර්ගෝපදේශ වල දුර්වලතාවය සක්සුදක් සේ තහවුරු වී ඇති තත්වයක් යටතේ, ඔවුනගේ යටි අරමුණු හෙලිදරව් වීම වැලැක්වීම සදහා මේ වන විට ජපුර විශ්විද්‍යාලයේ ප්‍රභේද පරීක්ෂණ සදහා තහනමක් දමා ඇත.

බැලූ බැල්මට තහනමක් නොවන අයුරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාව රූකඩයක් කර ගනිමින් මාර්ගෝපදේශයක් ලෙස නිකුත් කර ඇති එමගින් උත්සාහ දරා ඇත්තේ ප්‍රභේද පරීක්ෂණ සදහා දිවයින පුරා ජයර්ධනපුර නොවන වෙනත් රසායනාගාර නම් කිරීමටය.

ප්‍රභේද පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර තුල ආරම්භ කරන ලෙස වසර දෙකක් තිස්සේ අප හඩ නගමින් සිටියදී ඒ සදහා කටයුතු නොකරමින් සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර ලොක්කන්, හිටි හැටියේ මෙවන් මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීමට වඩා ඒවා වැලැක්වීම සදහාය.

කෙසේ නමුත් රසායනාගාර සේවාවට අදාල මර්ගෝපදේශ සැකසීමේදී අදාල පාර්ශවකරුවන් සියල්ල නොකැදවා, තම හිතවත්ක් විශේෂඥයින් කිහිපදෙනෙකුට පමණක් ඒ අවස්ථාව ලබා දීම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයටද මෙම මාර්ගෝපදේශ මාෆියාව පාලනය කල නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

PHOTO 2021