දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය තව දුරටත් දිග්ගැස්සෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය තව දුරටත් දිග්ගැස්සෙයි
දුම්රිය ස්ථානධිපතිවරුන්ට හා මගීන්ට සෘජුවම බලපාන නොවිසඳුණු ගැටළු 25ක් සඳහා විසඳුම් බලාපොරොත්තුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලදී. ඒ සම්බන්ධයෙන් ගරු ප්‍රවාහන අමාත්‍යතුමිය සහ රාජ්‍ය අමාත්‍යවරයා ඉතාමත් සාධනීය ලෙස මැදිහත්වීම් සිදුකලද, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ පාලනාධිකාරිය ඉතාමත් ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කිරීම හේතුවෙන් ප්‍රශ්නය තවදුරටත් ඔඩුදුවා ඇත. ඊයේ දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය අමාත්‍යාංශයේ මැදිහත්වීම මත අද දින පෙ.ව.10.00ට යොදාගැණුනු සාකච්ඡාවෙන් අනතුරුව එහි තීන්දු මත පදනම් වෙමින් ක්‍රියාත්මක කිරීමට විධායක කමිටුව තීරණය කරන ලද බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.
 
ඒ අනුව සංගමය අද දිනයේ (27/12/2021) දුම්රිය මූලාස්ථානයේදී නැවතත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය සමඟ නැවතත් සාකච්ඡා මාර්ගයට එලැඹියේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකරනු පිණිස නමුත් විගණන චෝදනා ලත් දූෂිත වෘත්තීය සමිති නායකයින් දෙපලක් සහ දේශපාලන වාසි තකා කටයුතු කරන පුද්ගලයෙකු සමඟ එක්ව ඔවුන්ගේ උපදෙස්, අනුශාසනා මත කටයුතු කරමින් තවදුරටත් ඔහුගේ පරිපාලනයේ දුර්වලතාවය තවදුරටත් පිළිබිඹු කරමින් අදදිනත් සාකච්ඡාව අවසන් වූයේ කිසිඳු විසඳුමකින් එකඟතාවයකින් තොරව බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය . සියළු ගැටළු වලින් ලිස්සා යමින් තම පුටුව රැකගැනීමේ උත්සහයක නියැලීම විනා දෙපාර්තමේන්තුවේ උන්නතිය පිළිබඳ කටයුතු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවට පැහැදිලි බවත් නිවේදනයේ සඳහන්.
 
ඒ අනුව දුම්රිය ස්ථානාධිපති සංගමය වශයෙන් මේ වනවිට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යමින්, ප්‍රවාහනය සඳහා පාර්සල් භාර නොගැනීම සහ ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම තවදුරටත් ක්‍රියාත්මකවේ. ඊට අමතරව තෙල් ප්‍රවාහනය, ප්‍රීමා ප්‍රවාහන සහ හොල්සිම් ආයතනය සඳහා හුණුගල් ප්‍රවාහනය යන සේවාවාර වලින් ඉවත්වීම මේ මොහොතේ ක්‍රියාත්මක වෙන අතර මෙහිදී බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත ඉන්ධන ප්‍රවාහනයද මීට සමගාමීව ඇණිහිටිනු ඇත.
 
එමෙන්ම කණිෂ්ඨ සේවක හිඟය හේතුවෙන් මෙතෙක් ඉතාමත් අපහසුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ නවාතැන් බංගලා සහයක සේවාවාර සහ රියදුරු නියාමක ගමන් මළු සේවාවාර වලින් කාර්‍යමණ්ඩල ඉවත් කරගැනීමට කටයුතු කරනු ලැබේ.
 
තවදුරටත් දුම්රිය ස්ථාන හරහා වෙන්කරනු ලබන දුම්රිය විවේක කාමර හා නිවාඩු නිකේතන වෙන්කිරීම් කටයුතුද අදදින සිට අත්හිටුවීමට කටයුතු කරනු ඇත. 
 

දුම්රිය ස්ථානාධිපති සංගමය තම වෘත්තීය ක්‍රියාමාර්ගය මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම ක්‍රියාමාර්ගය හරහා දෙපාර්තමේන්තුවට වන අලාභය හා රජයට සිදුවන අපකීර්තියේ වගකීම සෘජුවම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් භාරගත යුතු බවත් සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා මාධ්‍ය නිවේදනය අවසානයේ  දක්වා තිබේ.