ආර්ථික සංවර්ධන නිලධාරින්ට හා සංවර්ධන නිලධාරීන්ට හිමි දීමනා ගෙවීම් කර නැතිලු

ආර්ථික සංවර්ධන නිලධාරින්ට හා සංවර්ධන නිලධාරීන්ට හිමි දීමනා ගෙවීම් කර නැතිලු

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ප්‍රාදේශීය පාලනයට අයත් කාර්යාලවල සේවයේ නියුතු ආර්ථික සංවර්ධන නිලධාරීන්ට හා සංවර්ධන නිලධාරීන්ට හිමිවිය යුතු දීමනා මෙතෙක් හිමි වී නොමැති බව සංවර්ධන නිලධාරි සේවා සංගමය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ එම ගෙවීම් මේ මස 31 දිනට පෙර කරන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අදාළ දීමනා ගෙවීමට ක්‍රියා කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔබ ලිඛිතව දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දි ඇතත් බොහෝ ආයතනවල අදාළ දීමනා මෙතෙක් ලබා දී නොමැති බව දැන ගැනීමට ඇත.

රජයට අදාළ විවිධ ව්‍යාපෘති ග්‍රාමීයව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පූර්ණකාලීන දායකත්වය ලබාදෙන ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අතර ආර්ථික සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් මූලිකත්වයක් දරණ බව අදාළ බලධාරීන්ට විශේෂයෙන් කිව යුතු නැත. නමුත් එම කාර්යයන් සඳහා අවම වශයෙන් හිමිවන දීමනා පවා ගෙවීම මඟහැරීම, කල්මැරීම අපි අනුමත නොකරමු.

විවිධ අවස්ථාවල ලබාදීමට නියම කරන ලද නමුත් මේ දක්වා බොහෝ නිලධාරීන්ට හිමි නොවූ දීමනා පිළිබඳව යළි ඔබගේ අවධානය යොමු කරවමු.

2. 2021.02.16 දිනැති HA/3/11-1 අංක සහිත #කොවිඩ් - 19 රාජකාරී කටයුතුවල නිරත වූ නිලධාරීන් සඳහා දීමනා ලබා දීම යටතේ නිකුත් කර ඇති ලිපිය අනුව එක් වසමකට අයත් නිලධාරියෙකු සඳහා රු.2650/- මුදලක්ද, වැඩ බලන වසමක් සඳහා රු.2350/- මාසිකව හිමි විය යුතු වුවද එම දීමනාව මේ දක්වා ලබා දී නැත,

3. 2021.06.02 දිනැති HA/1/1/18 අංක සහිත හා 2021.08.10 දිනැතිව HA/1/1/9/18 අංක සහිත ලිපි මඟින් වැඩ බැලීමේ දීමනාව නොගෙවීම සම්බන්ධවයි යන උධෘතය යටතේ 2013 සිට වැඩ බැලීමේ රාජකාරීවල නිරත ආර්ථික සංවර්ධන නිලධාරීන්ට වැඩ බැලීමේ දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත. එම දීමනාව මේ දක්වා ගෙවීමට පියවර ගෙන නොමැති බව වගකීමෙන් සඳහන් කරමු,

4. 2021.12.13 දිනැතිව HA/1/1/9/33 අංක සිහිත ලිපිය මඟින් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට අදාළ නිලධාරීන්ට ඔක්තොම්බර්, නොවැම්බර් හා දෙසැම්බර් මාස 03 සඳහා මාසයකට නිවාඩු දින 02 ක් වන සේ නිවාඩු දින වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ ගෙවීම සඳහා සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට අදාළව වෙන් කරන පරිපාලන වියදම්වලින් ගෙවීම කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

නමුත් ආර්ථික සංවර්ධන නිලධාරීන්ට හා අදාළ සංවර්ධන නිලධාරීන්ට උක්ත මාස 03 සඳහා වන නියමිත නිවාඩු දින වැටුප් ගෙවීමට මුදල් නොමැති බව ඇතැම් ආයතන මඟින් දැනුම් දී ඇතැයි අදාළ නිලධාරීන් අප වෙත දැනුම් දී ඇත. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට අදාළව කාලය, ශ්‍රමය උපරිමයෙන් යොදවා අදාළ වගකීම් ඉටුකළ ආර්ථික සංවර්ධන නිලධාරීන්ට හා අදාළ සංවර්ධන නිලධාරීන්ට හිමි නිවාඩු දින වැටුප් ගෙවීම ප්‍රමුඛ කරමින් අදාළ ගෙවීම් කළයුතුබව අපි අවධාරණය කරමු.

පැවරෙන රාජකාරී සියල්ල නියමිත දින වකවානු තුළදී නිමකර අදාළ වගකීම් ඉටු කළ ද ඊට හිමිවිය යුතු දීමනා ලබාදීමේ දී ආණ්ඩුව හා අදාළ බලධාරීන් අනුගමනය කරන වැඩ පිළිවෙල පිළිබඳ කණගාටුව පළ කරමු.

Covid-19 ට අදාළ රාජකාරී සඳහා හිමිවිය යුතු දීමනා, වැඩ බැලීමේ දීමනා හා සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට අදාළ නිවාඩු දින වැටුප් සියල්ල 2021.12.31 ට පෙර අදාළ නිලධාරීන්ට ගෙවීමට කටයුතු කරන මෙන් අප සංගමය ඉතා වගකීමෙන් ඉල්ලා සිටිමු.

2021.12.31 දින හෝ ඊට පෙර අදාළ දීමනා ගෙවීම සිදු නොකරන්නේ නම් 2022 ජනවාරි සිට පැවරෙන රාජකාරී සම්බන්ධයෙන් යළි සිතාබැලීමට සිදුවන බව ද දන්වා සිටිමු.