සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අගයයි

sri-lanka-post

කොවිඩ් ව්‍යසනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙරටට සහයෝගය ලබා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ඉහළ කැපවීම් නිසා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම කාර්ය මණ්ඩල තම රාජකාරි මගහැර සිටියේ නම් කිසිදු ජාත්‍යන්තරික සංවිධානයක් මෙරටට සහය නොදක්වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය හා රැකවරණ සේවකයන්ගේ ජාත්‍යන්තර වසර (2021) නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කිරීම නිමිත්තෙන්  (30) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කීය.මෙම සමරු කවරය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ විවිරණ සහිත ග්‍රන්ථයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්වීය.

ලොව බොහෝ රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් ව්‍යසනයේදී රාජකාරියෙන් මගහැර සිටියදී ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සෑම තරාතිරමකම පිරිස් රටෙහි ජනතාව වෙනුවෙන් ඉහළතම කැප කිරීමක් ලබාදුන් බව අමාත්‍යවරයා කීය.

කිසිදු පැකිලීමකින් තොරව ප්‍රමුඛ අරමුණ වෙනුවෙන් එම කාර්ය මණ්ඩල කටයුතු කිරීම ලොව බොහෝ රටවල් ආදර්ශයට ගත් බවත්, එය ජාත්‍යන්තරික සංවිධානයන්හි ඇගයීමට ලක් වූ බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

අපි ආඩම්බර වෙනවා තම තමන්ගේ මට්ටමින්,සිය පෞද්ගලික ජීවිතය පවා නොතකා සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජකාරියට එහා යමින් මෙම කාල සීමාවේ කළ අසීමිත කැපකිරීම් සම්බන්ධව.මම පෞද්ගලිකව දන්නවා මුලදී සමහරුන් මුව ආවරණ , ආරක්ෂිත අඳුම් පවා අඩුපාඩු වෙද්දි ඒවාත් තම තමන් සපයා ගනිමින් පැය 72 ක් පමණ එක දිගට සේවය කළා. එම අවදානම දරාගෙන තමන්ගේ පවුලේ සාමාජිකයන් අතරට ගියා.

මුළු ලෝකයටම මෙම වසංගතය අලුත් අත්දැකීමක්ව පැවතියද අපේ සෞඛ්‍ය සේවකයින් එම අභියෝගය භාර ගත්තා. මහාචාර්යවරයාගේ සිට කම්කරුවන් දක්වා සියලු සෞඛ්‍ය සේවකයන්ගේ අසහාය කැපවීම හා එක අරමුණක් වෙනුවෙන් ක්‍රියා කිරීම පිළිබඳව මම මේ  අවස්ථාවේදී ප්‍රණාමය පුද කර සිටිනවා.

මෙම අවස්ථාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ  යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.