පළාත් සභා රෝහල් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට අවධානය

පළාත් සභා රෝහල් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට අවධානය

පළාත් සභා පාලනය යටතේ මේ වන විට පවතින දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මහියංගණ මූලික රෝහල මෙම වසර තුළ මධ්‍යම රජයට පවරා ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහියංගණ මූලික රෝහල සංවර්ධනය කරමින් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්  (04) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාද එක්ව සිටියේය.

රෝහල් කරා පැමිණෙන දෛනික රෝගීන් ප්‍රමාණය , යටිතල පහසුකම්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමේ අරමුණින් දිවයිනේ තෝරා ගත් රෝහල් මෙලෙස මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සැලැසුම් කර ඇත.

දිස්ත්‍රික් ගණනාවක් ආවරණය වන මහියංගණ මූලික රෝහල රේඛීය අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස 2014 වර්ෂයේ සිට ඉල්ලීම් ගණනාවක් කර ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

එමෙන්ම පළාත් සභා යටතේ පවතින තවත් රෝහල් කිහිපයක් රේඛීය අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස ඉල්ලීම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

විශේෂයෙන් 13 වන සංශෝධනය අනුව පළාත් සභාව සතු ආයතන රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු රැසක් ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. රටෙහි සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම රටෙහි ගමන් මග තුළ අතිශය වැදගත් පියවරක් බවත් ඒ වෙනුවෙන් වත්මන් රජය එයට ඉහළම දායකත්වයක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් මහියංගණ මූලික රෝහලට බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට වඩා අවට දිස්ත්‍රික්ක වල ජනතාව විශාල ලෙස පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා මෙහිදී කීය

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද ඌව පළාතේ හා බදුල්ල දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක්ද එක්ව සිටියහ.