ඉදිරි සති කිහිපයේදී ඔමික්‍රෝන් රැල්ලක අවදානමක්

ඉදිරි සති කිහිපයේදී ඔමික්‍රෝන් රැල්ලක අවදානමක්

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදිත රැල්ලක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශකර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමය පෙන්වා දෙන්නේ මෙරට ප්‍රභේද හඳුනාගැනීමට ඇති සීමිත හාකියාව යටතේ වුවත් දැනටමත් මෙරටින් රෝගීන් 47 දෙනෙක් හඳුනාගැනීමෙන්ම එය ඩෙල්ටා ප්‍රභේදය අභිබවා පැතිරිය හැකි බවයි.

ඒ හේතුවෙන් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සහ නිසි සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම කළ යුතු අතර ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සංසරණය වෙමින් පවතින වාතාවරණයකදී වුවත් උත්සව සමයේ කඩ සාප්පු, තැබෑරුම්, දෙසැම්බර් 31 රාත්‍රී සාද ආදිය තුළ ඇතිවූ තදබදය ආදිය සැළකිල්ලට ගැනීමේදී දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙතෙක් ප්‍රමුඛව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවමින් ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතළ නොවූවද පැතිරීමේ ඉහළ හැකියාව තුළ රෝගීන් සංඛ්‍යාව වැඩිවුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට හා මෙරට ආර්ථිකයට  බලපෑම් එල්ල කළ හැකි බව එහි සඳහන්.

1