රට පුරා රැපිඩ් ඇන්ටිජන් හිගයක් - අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ප්‍රතිකාර අවධානමක

රට පුරා රැපිඩ් ඇන්ටිජන් හිගයක් - අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ප්‍රතිකාර අවධානමක

රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවී කුමුදේශ් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, රෝහල් සදහා ඇනවුම් කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු වී ඇති අතර, පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ සදහා පිළියමක් යෙදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇත.

කොවිඩ් කාර්‍යසාධන බලකායක් පිහිටුවා සෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය අහෝසි වූ අතර, කොවිඩ් කාර්‍යසාධන බලකාය අහෝසි කිරීමත් සමග බිම් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් පිළිබදව සාකච්චා කීරිමට පාවා තැනක් නොමැති තත්වයකට පත්වීම හේතුවෙන් මෙවන් තත්වයන් වලක්වා ගැනීමට නොහැකි වී ඇත.

එකදු මැලේරියා, බරවා රෝගියෙකු පවා නොමැතිව එම රෝග පාළණය සදහා පාර්ශවකාර වෘත්තීයවේදීන් නිතිපතා සාකච්චා කරමින් සිටියදී, කොවිඩ් පාළණය සදහා පාර්ශවකරුවන් අතර කිසිදු සාකච්චාවක් නොවීම මගින් තහවුරු වී ඇත්තේ කොවිඩ් කාර්‍ය සාධන බලකායත් සමග කොවිඩ් වසංගතයත් විසිරුවා හැර ඇති බවට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරන බවකි.

කෙසේ නමුත් මේ හේතුවෙන්  ජාතික රෝහල කොළඹ, ජතික රෝහල මහනුවර,  ශික්ෂණ රෝහල රත්නපුර, අම්පාර, කරාපිටිය, පේරාදෙනිය, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුලු  රෝහල් ගණනාවක ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුව ඇත.

ඕනෑම රෝහලකට පැමිණෙන විවිධ සංකූලතා ඇති රෝගීන් සදහා නිශ්ච්ත ප්‍රතිකාරය හෝ ශල්‍යකර්මය සිදු කිරීමට පෙර, එකී රෝගියාට කොවිඩ් වැලදී නොමැති බව සැක හැර දැන ගැනීම අනිවාර්‍ය වී ඇති බැවින්, ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල හිගය කොවිඩ් සදහා පමණක් බලපාන ගැටලුවක් නොව, සමස්ත රෝගීන්ට හා ප්‍රතිකාර සදහා බලපානු ලබන අඩු පාඩුවකි.

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ අඩුව, PCR මගින් ආවරණය කල හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වරයාගේ ප්‍රකාශ පිළිබදව අප පුදුමයට පත්වන අතර, PCR මගින් සිදු කරනු ලබන කාර්‍යයන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් හෝ, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් සිදු කරනු ලබන කාර්‍ය, PCR මගින් හෝ විස්ථාපනය කල නොහැකි බව වෛද්‍ය රසායනාගාර සේවාවේ හය හතර දන්නා ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිව තිබියදී, බල්ලාගේ වැඩේ බූරුවාට පවරා සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් ගැටලුව ව්‍යාකූල බවට පත් කර ගනිමින් සිටී.