ශ්‍රී ලංකාවේ සමාගම් ආන්තික දියුණුවක් ලබා ඇති බව “සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම” අනාවරණය කරයි

tisl

අද දින (පෙබරවාරි 01) එළි දක්වන ලද 2021 වසරේ සමාගම් වාර්තාකරණය තුළ විනිවිදභාවය පිළිබඳ ඇගයීමට (TRAC වාර්තාව) අනුව, ශ්‍රී ලංකාවේ සමාගම් සිය වාර්තාකරණ ක්‍රියාවලියේ දී මධ්‍යස්ථ විනිවිදභාවයක් පෙන්නුම් කරන බව හඳුනාගන්නා ලදි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් TRAC වාර්තාව සම්පාදනය කර ඇත.

2021 ජූනි 01 වන දිනට කොළඹ කොටස් වෙළඳපොළේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයට අනුව ලැයිස්තුගත ප්‍රමුඛතම සමාගම් 75 මෙම ඇගයීම්කරණයට ඇතුළත් වන අතර, තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් පෙන්නුම් කරන විනිවිදභාවය මත පදනම්ව මෙම ඇගයීම සිදු කර ඇත. අඛණ්ඩව දෙවන වරටත් සිදු කෙරෙන මෙම ඇගයීම දූෂණය පිටු දැකීමට සහ ඊට එරෙහිව සටන් කිරීමට අත්‍යවශ්‍ය වෙනස් තේමා තුනකට අයත් අංශ පදනම් කරගෙන සම්පාදනය කර ඇත. ඒවා නම්, දූෂණ විරෝධී වැඩසටහන්, සමාගම් හිමිකාරිත්වයේ විනිවිදභාවය සහ දේශීය මෙහෙයුම් කටයුතුවල මූලික මූල්‍ය තොරතුරු අනාවරණය යන අංශ පිළිබඳ වාර්තාකරණය වේ.

ලකුණු 10කින් 6.9ක් වන ලෙස සාමාන්‍ය අගයක් ලබා ගනිමින් සමාගම් සිය වාර්තාකරණ ක්‍රියාවලියේ දී මධ්‍යස්ථ විනිවිදභාවයකින් කටයුතු කරන බව මෙම පර්යේෂණයෙන් අනාවරණය විය. මෙම ලකුණු පරාසයේ අවම විනිවිදභාවයට හිමි ලකුණ 0 වන අතර උපරිම විනිවිදභාවයට හිමි ලකුණ 10 වේ.

මෙම ඇගයීමෙහි සමස්තයක් වශයෙන් ඉහළ ම අගයන් වාර්තා කර ඇති සමාගම් වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී සහ ඩයලොග් ආසියාටා පීඑල්සී යන ආයතනයන් ය. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සමස්ත ලකුණු ප්‍රමාණය ම ලබාගත් එක ම සමාගම වෙමින් අඛණ්ඩව දෙවන වරටත් මෙහි ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. 

සමාගමට අදාළව ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව සමාගම් ලකුණු කර ශ්‍රේණිගත කර ඇත. නවතම වාර්ෂික වාර්තා (2020 හෝ 2020//21), ආයතන වෙබ් අඩවි සහ අනෙකුත් ප්‍රසිද්ධියට පත් කර ඇති සමාගමට අදාළ ලේඛනවලින් මේ සඳහා දත්ත සපයා ගන්නා ලදි. සෑම සමාගමකටම අයත් ලකුණු පත්‍රිකා වෙන් වෙන් වශයෙන් පරිශීලනය කිරීමට https://www.tisrilanka.org/trac2021/ සබැඳිය භාවිත කළ හැකි ය.

සමාගම්වල දූෂණ විරෝධී ප්‍රතිපත්ති හෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ TRAC වාර්තාවෙන් අගයා නොමැති බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එහෙයින්, අවම ලකුණක් හිමි වීමෙන් සමාගමක් සතුව ශක්තිමත් දූෂණ විරෝධී වැඩසටහන් නැති බවක් හෝ සමාගම තුළ යම් වැරදි සිදුවන බවක් අදහසක්  නොකෙරේ. එලෙසම, ඉහළ ලකුණකින් ශක්තිමත් සාංගමික අනාවරණ පද්ධති පෙන්නුම් කරන නමුත් ඒවායේ මෙහෙයුම් සහ ක්‍රියාකාරී සාර්ථකත්වයක් ඉන් පිළිඹිබු නොවිය හැකිය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය, දූෂණයට අනුබල දෙන්නෙකු ලෙස සලකනු ලැබේ. මෙම මතය වඩාත් තීව්‍ර කිරීමට, පෞද්ගලික  අංශයේ ප්‍රජා දායකත්ව, දූෂණ විරෝධී ප්‍රතිපත්තිමය උපායමාර්ග හෝ ආයතනික ව්‍යූහය සම්බන්ධයෙන් සිය තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අනිවාර්ය කෙරෙන නීතිමය රාමුවක් නොමැති වීමද හේතු වී ඇත.

"මෙම වාර්තාවෙන් සමාගම්වලට සිය අනාවරණ භාවිතයන් වැඩිදියුණු කරගැනීම සඳහා විස්තරාත්මක නිර්දේශ ඉදිරිපත් කර ඇත. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වඩාත් හොඳ ලකුණු මට්ටම්වලට ළඟා විය හැක. මේ වාර්තාවෙන් රෙගුලාසිවල වෙනස්කම් සිදු කිරීමේ වැදගත්කමත් ඉස්මතු කරන අතර අදාළ නීති සහ රෙගුලාසි සංශෝධනය සම්බන්ධයෙන් රජයට කරන නිර්දේශ ද ඇතුළත් වේ.  ප්‍රමුඛ ස්ථාන ලබාගත් සහ වඩාත් හොඳ දියුණුවක් අත් කර ගත් සමාගම්වලට සුබපැතුම් එකතු කරන අතර, ඇගයීමට ලක් වුණ සියලු ආයතන, මෙම වාර්තාව සිය අඛණ්ඩ දියුණුවටත්, තොරතුරු අනාවරණය තම මෙහෙයුම් තුළ සාමාන්‍යකරණයටත්  අත්වැලක් ලෙස භාවිතා කරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි" ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා, නදීශානි පෙරේරා වාර්තාව සම්බන්ධයෙන් එලෙස අදහස් දැක්වීය.