උතුරේ ඉන්දීය ධීවර ප්‍රශ්නයට විසඳුම් නැතොත් චීනයට අත වැනීමේ සැලසුමක්

උතුරේ ඉන්දීය ධීවර ප්‍රශ්නයට විසඳුම් නැතොත් චීනයට අත වැනීමේ සැලසුමක්

සිමා මායිම් පැන ලංකා මුහුදේ මසුන් කොල්ලකන ධීවරයන් පාලනය කර ගැනීමට ඉන්දියාව සමත් නොවුන හොත් ඒ සඳහා චීනයේ සහාය පතන්නට වන බවට උතුරේ ධීවරයෝ අවධාරණය කර තිබේ.

තමිල්නාඩු ධීවරයන් විසින් වඩමාරච්චි ආසන්න මුහුදේදී උතුරේ ධීවරයන්ට අයත් බෝට්ටු හා දැල් ආම්පන්න වලට අලාභානි කිරීමට එරෙහිව ඊයේ [31] සුප්පර්මඩම් ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

හානියට පත් බෝට්ටු හා දැල් ආම්පන්න යොදා මාර්ගය හරස් කරමින් සුප්පර්මඩම් ධීවරයන් කියා සිටියේ අනවසර තමිල් නාඩු ධීවරයන්ගේ ගැටලුවට අදාළ සියළුම පාර්ශව එක්ව විසදුමක් ලබා දිය යුතු බවයි.

''අපේ මුහුදට ඇතුල් වෙන තමිල්නාඩු ධීවරයන් ගහලා පන්නන්න අපිට පුළුවන්. බෝට්ටු අල්ලා ගෙන අපේ වෙරළට ගේන්නත් පුළුවන්. ඒත් රටේ නීති රීති වලට ගරු කරමින් අපි ඒවා කරන්න යන්නේ නැහැ.'' යි උද්ඝෝෂණයේ යෙදුනු ධීවරයෝ මාධ්‍යයට පැවසුහ.

ධීවරයන්ගේ උද්ඝෝෂණයට සහාය පළ කරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක්ද එම ස්ථානයට පැමිණ තිබේ.

IMG 20220201 023630

| ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ධීවරයන්ගේ උද්ඝෝෂණයට සහාය පළ කරමින් ..

13 වැනි ව්‍යවස්ථා සංශෝධන විරෝධී ව්‍යාපාරයට සහයෝගය පළ කරන වඩමාරච්චි පුරවැසි කමිටුව මෙම ධීවරයන් ද නියෝජනය කරනු ලබන බහුජන සංවිධානයකි.

''අපේ ප්‍රශ්න තේරුම් අරන් ඉන්දියාව එයාලගේ ධීවරයන්ට අපේ මුහුදට එන්න එපා කියල අනතුරු අඟවන්න ඕනෑ. නැත්නම් අපිට ඒ ගැන චීනයේ උදව් ඉල්ලන්න වෙයි,''යැයි ද ඔව්හු පවසති.

තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නය මෙතෙක් නිරාකරණය කිරීමට නොහැකි වූ ධිවර ඇමැති ඩග්ලස් දේවානන්ද කෙරෙහිද උද්ඝෝෂණයේ නිරත ධීවරයන්ගේ විරෝධය එල්ල වී තිබේ.

''කිසිම පියවරක් ගන්න බැරි ධීවර ඇමැතිකමෙන් අස්වෙලා ගෙදර යන්න ඕනෑ,'' යි වඩමාරච්චි ධීවරයෝ පවසති.

vadamarachchi

(ද ලීඩර්)