පිරිවෙන් ගරු වැටුප වැඩිකරන කැබිනට් පත්‍රිකාව අතරමග

pirivena-teacher

03/2016 (iv) චක්‍ර ලේඛනයේ වැටුප් වැඩිවීම පිරිවෙන් ගුරුවරයාට ලබාදෙන කැබිනට් පත්‍රිකාව අනුමත නොකිරීමට විරෝධය පළකරන බවත්, මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාදාමයක්  ඉදිරි වැඩකරන දින 12 ඇතුළත අරගන්නා බවත්, නොඑසේනම් පිළිගත හැකි තීන්දුවක් ලබාගැනීම පිණිසි මෙම ලිපිය ලැබී දින 7 ක් ඇතුළත සාකච්ඡාවක් ලබාදෙන මෙන්ද අවසාන වශයෙන් ඉල්ලා සිටින ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වන්නේ,

ගුරුසේවයට සමාන්තවර පරිවේණාචාර්ය සේවය ක්‍රියාත්මක වීමත් සමග ගුරුසේවයට නිකුත්වන සියලූ චක්‍ර ලේඛන පරිවේණාචාර්ය සේවයට ද එකවර ක්‍රියාත්මක විය. එනමුත් 03/2016 (iv) චක්‍ර ලේඛනය එසේ ක්‍රියාත්මක වූයේ නැත.

එම චක්‍ර ලේඛනය වහාම පරිවේණාචාර්ය සේවය සඳහාද ක්‍රියාත්මක කරන ලෙස 2022.01.10 දින හා 18 දිනයන්හි ලිඛිතව ඉල්ලා සිටින ලදි. එහෙත් අපහට නිසි ප්‍රතිචාරයක් නොලැබුණි. අවසන එක්දින ලෙඩ නිවාඩු වාර්ථාකොට දැඩි වෘත්තීය සමිති ක්‍රියාදාමයකට සූදානම්වන අවස්ථාවේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා 2022.01.19 දින හදිසියේ සාකච්ඡාවක් ලබාදුණි. එහිදී මෙදින උදෑසන අංගසම්පූර්ණ කැබිනට් පත්‍රිකාවක් සකසා ඔබතුමා වෙත භාරදුන් බවත්, එය ඉදිරි කැබිනට් මණ්ඩලයේ (එනම් 24 දින) අනුමතකොට ජනවාරි මස හිඟ වැටුප් හා පෙබරවාරි මස සම්පූර්ණ වැටුපත්, පොදුවේ රාජ්‍ය සේවකයාට ලබාදුන් රු.5000 ත් පරිවේණාචාර්යවරුන් වෙත ලබාදෙන බවට පොරොන්දු විය.

ඉහත දින රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය හා රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශ තවත් බලගැන්වීමේ අර්ථයෙන් රාජ්‍ය ලේකම්තුමාගේ මාධ්‍ය ලේකම්වරයාත්, අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) හිමිපාණනුත් උදම්වැකි සහිත ලිපි නිකුත් කර තිබුණි.

ඊට අමතරව අධ්‍යාපන ලේකම් වරයා ජාතික පුවත් පත්වලට හා ජාතික විද්‍යුත් මාධ්‍ය උපයෝගී කරගෙනද ඉහත පොරොන්දු ලබාදෙමින් පරිවේණාචාර්යවරුන් වෙත අපේක්ෂා ඇතිකරන ලදි. එකී සියලූ හේතු පදනම් කොටගෙන කැඳවා තිබූ වෘත්තීය සමිති ක්‍රියාදාමය තාවකාලිකව කල්තබන ලදි.

  1. 2022.01.19 දින ඔබතුමා අතට පත්කරන ලද ඉහත වැටුප් වැඩිවීම් පරිවේණාචාර්යවරයාටද අත්කර දෙන අංගසම්පූර්ණ කැබිනට් පත්‍රිකාව 26 දින හෝ 31 වන දින වූ ඊයේ හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර සන්තකයේ තබාගෙන සිටින්නේ මන්ද?,
  2. එයින් පිරිවෙන් ගුරුවරයා පත්වන පීඩාව ඔබ ඇතුළු ආණ්ඩුවත්, වගකිවයුතු නිලධාරීනුත් සතුටින් විඳින්නේද?,
  3. ඔබ සැමගේ මෙවැනි වගකීම් විරහිත ක්‍රියාදාමයන් මගින් දිනෙන් දින කඩා වට්ටන හා වැටෙන පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය නගාසිටුවිය හැකිද?,
  4. ඔබ සැම පිරිවෙන් ගුරුවරයා වෙත මෙසේ ඇතිකරන පිඩනයන්, මානසික බිඳවැට්ටීම්, අපේක්‍ෂාභංගත්වයන් තුළින් ඉන්න ගුරුවරයා රැකගැනීමට හෝ නව ගුරුවරුන් එක්කර ගැනීමට හැකියයි සිතන්නේද?,
  5. ඔබ සැම භාවිතාවට නගන අදූරදර්ශී, අසංවිධානාත්මක, වගකීම් විරහිත ක්‍රියාදාමයන් විසින් පරිවේණාචාර්ය වරයා වෘත්තීය ක්‍රියාදාමයන් මගින් මහමඟට කැන්දන්නේ මන්ද? එහි වගකීම ඔබතුමා ඇතුළු සැම භාරගන්නේද?,
  6. ඉහත ප්‍රශ්න පරිවේණාචාර්යවරයා මේ මොහොතේ නගන හඬ බැවින් කල් දැමූ වෘත්තීය ක්‍රියාදාමය පෙරටත් වඩා ශක්තියකින් පැවැත්වීමට පරිවේණාචාර්යවරයාට ඇති ශුද්ධවූ අයිතිය ඉදිරි වැඩකරන දින 12 ඇතුළත අරගන්නා බව ඉතාමත් අවධාරණයෙන් ප්‍රකාශ කරන්නෙමු. එය එසේ නොවන්නට නම් පිළිගත හැකි තීන්දුවක් ලබාගැනීම පිණිසි මෙම ලිපිය ලැබී දින 7 ක් ඇතුළත සාකච්ඡාවක් ලබාදෙන මෙන්ද අවසාන වශයෙන් ඉල්ලා සිටිමු.

අරගලයට කැඳවීම් හෝ සාමකාමී විසඳුම් දීම ඔබතුමා හා ඔබ ආණ්ඩුව සතු වගකීමක් බව අවධාරණය කරන්නෙමු.