ජාතික පාසල් ගුරු මාරු විසිපන්දහසක්

ජාතික පාසල් ගුරු මාරු විසිපන්දහසක්

වසර 10 කට වඩා එකම ජාතික පාසලක සේවය කළ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා මාර්ගගත ක්‍රමවේදයකට අයැදුම්පත් කැඳවීම ඉදිරි දින කිහිපයේදි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

වසර 2021/2022 වසර ජාතික පාසල් ගුරු මාරුවිම් 25,000 කට වඩා වැඩියෙන් සිදුවනු ඇතැයි පැවසේ.

කොවිඩ් 19 හේතුවෙන් 2021 වසරේදී ගුරු මාරුවීම් සිදුනොවූ අතර, එයද මේ වසරේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ජාතික පාසල් සඳහා ගුරු මාරුවීම් සිදුවන්නේ 2007 වසරේ නිකුත් කළ චක්‍රලේඛයට අනුව වන අතර පසුගිය වසරවල වසරකට 35,000 ක පමණ ගුරු මාරුවීම් ජාතික හා පළාත් පාසල් අතර සිදුව තිබේ.

ගුරු සංගම් පවසන පරිදි මේ වන විට ලංකාව පුරා විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසී, තොරතුරු තාක්ෂණ හා ප්‍රාථමික ඇතුළු ගුරු පුරප්පාඩු රැසක් ඇති බවත්, ඊට හේතුවී ඇත්තේ ගුරුවරු බඳවා ගැනීමේ දී හා ස්ථාන මාරු කිරීම්හි විවිධ අක්‍රමිකතා සිදු වන බවය.

එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ බොහෝ ගුරු පුරප්පාඩු විෂයානුබද්ධව හා පළාත් අනුව ඇති බවත්, බොහෝමයක් පාසල්වල දෙමළ, තාක්ෂණික විෂයන්හි කැපි පෙනෙන ගුරු හිඟයක් ඇති බවත්ය.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්තයන්ට අනුව බස්නාහිර පළාතේ 1,300 කට ආසන්න ගුරු හිඟයක් ඇති බවත්, මේවා සෑම විෂයකටම පවතින බවත්ය.

එසේම දකුණු පළාතේ 3,714 ක ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පැවැති බවත්, උපාධිධාරි අභ්‍යාසලාභි පත්වීම් හරහා ඒ අඩුව බොහෝ දුරට සමනය වූ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(ශ්‍රී ලංකා මිරර්)