පිරිවෙන් නිවාඩු අහෝසි කිරීමට විරෝධය

පිරිවෙන් නිවාඩු අහෝසි කිරීමට විරෝධය

උසස් පෙළ විභාගය පදනම් කරගෙන උසස් පෙළ සහිත පාසල් සඳහා පමණක් නොව ප්‍රාථමික අංශ හා ප්‍රාථමික පාසල්ද නිවාඩු ලබාදෙමින් පාසල්, පිරිවෙන්, රජයේ ආධාර ලබන පාසල් හා පෞද්ගලික පාසල් යන සමස්ත පාසල් සහ පිරිවෙන් පද්ධතියම නිවාඩු ගන්වා ඇතත්, පිරිවෙන් සඳහා ලබාදුන් නිවාඩුව අහෝසි කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාතයංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය තම විරෝධය දක්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඔබගේ ED/09/12/06/05/01-2022 දරණ චක්‍ර ලේඛනය මගින් සියලූ පාසල් හා පිරිවෙන් සඳහා නිවාඩුව 2022.02.07 දින සිට 2022.03.06 දක්වා මාසයක කාලයක් ලබාදී ඇත. උසස් පෙළ විභාගය පදනම් කරගෙන උසස් පෙළ සහිත පාසල් සඳහා පමණක් නොව ප්‍රාථමික අංශ හා ප්‍රාථමික පාසල්ද නිවාඩු ලබාදෙමින් පාසල්, පිරිවෙන්, රජයේ ආධාර ලබන පාසල් හා පෞද්ගලික පාසල් යන සමස්ත පාසල් සහ පිරිවෙන් පද්ධතියම නිවාඩු ගන්වා ඇත,

02. ඔබගේ ඉහත චක්‍ර ලේඛනය එසේ නිකුත්කර තිබියදී එදිනම ඔබ ආණ්ඩුවේ අමාත්‍යාංශ බෙදීම අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශය වන දහම් පාසල්, පිරිවෙන්, භික්‍ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නම හා අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) හිමිගේ අත්සනින් ED/ST/BUD/8/1/4/2/1 දරණ චක්‍ර ලේඛනය නිකුත්කර පිරිවෙන් සඳහා ඔබතුමා ලබාදුන් නිවාඩුව අහෝසිකර ඇත,

03. ඉහත චක්‍ර ලේඛනය ඔබ නිකුත් කිරීමේදී ඔබගේ නිලධාරී මණ්ඩලයේ, උපදේශකවරුන්ගේ, අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහස් හා කාලීන තත්වයන් සැලකිල්ලට ගන්නට ඇතැයි සිතමු. ඒ අනුව කොවිඩ් තත්වයෙන් අධ්‍යාපනය බිඳවැටීම නිසා වැටුණු මානසිකත්වයෙන් යුතුව උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් පිළිබඳවත්, එක් දරුවෙකු හෝ දෙදෙනෙකු උසස් පෙළ විභාගයට සූදානම් කරද්දී අනෙක් දරුවන් පාසලට සූදානම් කිරීමේදී දෙමාපියන් මුහුණදෙන දුෂ්කරතාත්, දෙමාපියන්ද වන ගුරුවරුන් ඉහත කාර්යයන් කරද්දී රාජකාරියට වාර්තාකිරීමත් අනිවාර්ය වූ විට සිදුවන අතිමහත් දුෂ්කරතාවත්, වේගයෙන් පැතිරෙන කොවිඩ් තත්වයත්, යන කරුණු හා තවත් කරුණු ඔබ පාදක කරගන්නට ඇතැයි සිතමු. මෙකී කාරණා මේ ලෙසින්ම පරිවේණාචාර්ය වරුන්ගෙන් සාතිශය බහුතරයක් වන ගිහි පරිවේණාචාර්යවරුන්ට ද පවතින හෙයින් එයද ඔබ සැළකිල්ලට ගන්නට ඇතැයි ද අපි සිතන්නෙමු,

04. එසේ සලකා ඔබ නිකුත් කළ චක්‍ර ලේඛනය ඉක්මවා රාජ්‍ය අමාත්‍යංශය නිකුත්කර ඇති චක්‍ර ලේඛනයෙන් ඔවුන් මේ කුමක් සැළකිල්ලට ගන්නට ඇද්දැයි නොදනිමු. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයත් අතර ඇති පරිපාලන අර්බුදය මගින් සුවිශාල අසාධාරණයට පරිවේණාචාර්යවරයා ප්‍රමුඛ පිරිවෙන් පද්ධතිය ලක්කර ඇති බව මේ තුළින් ඔබතුමාට පසක් වනු ඇතැයි සිතමු.

ඉහත කරුණු එසේ හෙයින් පාසල් නිවාඩුව පරිවේණාචාර්යවරුන්ට ලබා නොදිමට එරෙහිව එය දිනාගනු පිණිස පෙබ 07 දින පිරිවෙන් ගුරුවරුන්ගේ විරෝධතාවක් පවත්වන බවත් මෙම ගැටලූ සාධාරණව විසඳාගැනීම පිණිස එදිනට සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.