සෞඛ්‍ය කළමනාකරණ සහකාරවරුන් වර්ජනය අත්හරී

සෞඛ්‍ය කළමනාකරණ සහකාරවරුන් වර්ජනය අත්හරී

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමග රජයේ සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් (08)  දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාව සාර්ථකවීම හේතුවෙන් රජයේ සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (09) ක්‍රියාත්මක කිරීමට සැලැසුම්කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට මෙහිදී තීරණය කළ බව රජයේ සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති නාමල් ජයසිංහ මහතා පැවැසීය.

සෞඛ්‍ය කළමණාකරණ සේවයේ තුන්වන පන්තියේ සිට නොවිසුඳුණු කරුණු රාශියක් පවතින බවත්, තෙවන ශ්‍රේණියේ සිට අධි ශ්‍රේණියේ නිලධාරීන් දක්වා ඒ තුළ විවිධ ගැටලු පවතින බව රජයේ සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා සමඟ පැවති අදාළ සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සාධනීය මට්ටමේ විසඳුම් සහ එම විසඳුම් වලට යාමට මාර්ග සකස් කරගැනීමට හැකි වූ බවද රජයේ සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙහිදී වෘත්තීය ගැටලු කිහිපයකට විසඳුම් ලබාදීමටත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කළ අතර, රටෙහි පවතින තත්ත්වය අනුව සලකා බලා අනෙක් කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් හා එම වෘත්තීය සංගමයේ නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.