වෘත්තීය සමිති ඉල්ලීම් සලකා බලා විසඳුම් දෙන බව ඇමති කියයි(Photo)

වෘත්තීය සමිති ඉල්ලීම් සලකා බලා විසඳුම් දෙන බව ඇමති කියයි(Photo)

වෘත්තීය සංගම් ඉදිරිපත් කළ කරුණු වල සාධාරණ අසාධරණකම් සලකා බලා ලබාදීය හැකි විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අදාළ සංගම්හි ඇතැම් කරුණු සඳහා කඩිනම් විසඳුම් ලබාදිය හැකි බවද එසේ විසඳුම් ලබාදිය හැකි කරුණු සම්බන්ධයෙන් එකඟතාවයට පත්වූ බවද අමාත්‍යවරයා මෙහිදී කීය. වෘත්තීය සංගම් කිහිපයක් සමඟ (08) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී අදාළ සාකච්ඡාව  (08) දින පස්වරුවේ පැවැත්විණි.

මෙම වෘත්තීය සංගම්හි ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සති 02 ක පමණ කාලයක් අවශ්‍ය යැයිද ඇතැම් කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

සෞඛ්‍ය සේවාවේ සෑම වෘත්තියක්ම අතිශය වැදගත් බවත්, එහි එක් එක් වෘත්තීන් විශේෂත්වයෙන් ගෙන ක්‍රියා නොකරන බවත්, සෑම වෘත්තියකම වටිනාකම ඉහළින් අගය කරන බවත් අමාත්‍යවරයා කීය. රටෙහි පවතින තත්ත්වය මත මේ මොහොතේ ඇතැම් ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම අපහසු යැයිද විශේෂයෙන් විවිධ ක්ෂේත්‍ර සඳහා නව තනතුරු ඇතිකිරීම වැනි කටයුතු මෙම වසර තුළ සිදු නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

විශේෂයෙන් සෞඛ්‍ය සේවාවේ වැටුප් හා අනෙකුත් දීමනා සඳහා විශාල මුදලක් වැය වන බවත් එය අනෙකුත් සේවාවන් වලට සාපේක්ෂව ඉහළ වැය කිරීමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.සෞඛ්‍ය සේවාවේ ඒ ඒ සේවාවන්හි ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ප්‍රමුඛ සැලැසුමක් වෙනුවෙන් ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට මෙහිදී යෝජනා කළ අතර එයට වෘත්තීය සංගම්හි එකඟතාවය පළ විය.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව පත්කෙරෙන අතර මෙයට වෘත්තීය සමිති නියෝජිතයන්ද සාමාජිකයන් ලෙස පත් කෙරෙන අතර එයට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සංගම් වලින් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

අදාළ සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් හා වෘත්තීය සංගම් නියෝජිතයන් පිරිසක් සහභාගි විය.

health disscussion 2

health disscussion 3

health disscussion 4

health disscussion 5