වෛද්‍යවරුන් ඇතුළු කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අලුතින් වෘත්තීය සමිති සන්ධානයක්

වෛද්‍යවරුන් ඇතුළු කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අලුතින් වෘත්තීය සමිති සන්ධානයක්

සෞඛ්‍ය සේවාවේ සේවයේ නිරත වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ද මූලික හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ද කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ද දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීම සඳහා “වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය“ නමින් නව සන්ධානයක් අලුතින් ආරම්භ කර ඇත.

එම සන්ධානය විසින් ඒ පිළිබඳව ජනතාව  දැනුවත් කරමින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති පළමු නිවේදනය පහතින් දැක්වේ.

වර්තමානය වන විට සෞඛ්‍ය සේවාවේ සේවයේ නිරත වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ද මූලික හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ද කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ද දේශපාලන පක්ෂ භේදයකින් තොරව වෛද්‍යවරුන් වෙනුවෙන්ම පෙනී සිටින වෘත්තීය  සමිති ව්‍යාපාරයක හිඩැස පිළිබඳව පසුගිය කාලසීමාව මුළුල්ලේ සමාජය තුළ විශාල වශයෙන් කතා බහට ලක්විය.  මේ කරුණු සියල්ල සලකා බැලීමෙන් අනතුරුව මෙසේ එක්වන සියවසට ගැලපෙන අභිමානවත් වෛද්‍ය වෘත්තියක් රට  තුළ ජනිත කිරීමත් වෛද්‍ය වෘත්නීය  ජාත්‍යන්තර තලයට රැගෙන යාම හරහා රටේ ජාතික සංවර්ධන දායකවන සක්‍රීය බලවේගයක් බවට පත් කිරීමත් කේන්ද්‍රකොට නව වෘත්තීය  සමිති ව්‍යාපාරය බිහි කළ බව ඉතා සතුටින් දැනුම් දෙනු කැමැත්තෙමු.

නව වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය ජී. ජී. චමල් සංජීව  මහතා කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කටයුතු කරයි. මාධ්‍ය ලේකම් හා සම මාධ්‍ය ප්‍රකාශක ලෙස එම දෙපළ ම කටයුතු කරන අතර මේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ව්‍යාපාර වල නව හැරවුම් ලක්ෂයක් ලෙස සඳහන් කළ හැක.

සෞඛ්‍ය  සේවාවේ නිරත අනෙකුත් වෘත්තීය සමගි සන්ධාන සමගද සෞඛ්‍ය සේවාවේ පරිබාහිර අනිකුත් වෘත්තීය සමිති ව්‍යාපාර සමග ඒකාබද්ධව රටේ ජාතික සංවර්ධනයට දායක විය හැකි ඉතා ශක්තිමත් වෘත්තීය සමිති බලවේගයක් නිර්මාණය කිරීමත් එහි නායකත්වය  වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සම්බන්ධ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය මගින් දැරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ සම්බන්ධ වන මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කොට ඇත.

21 වන සියවසට ගැලපෙන ලෙස වෛද්‍ය වෘත්තීය දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ වීමත් නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා වන පරිදි වෛද්‍ය වෘත්තීය ජාත්‍යන්තරකරණය වෙමින් ප්‍රමිතිගතවීමේ අවශ්‍යතාවත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අප අවධාරණය කරන අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී වෛද්‍ය වෘත්තිය හා රෝගී ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබැඳියාව ඉහළ මට්ටමක පවත්වාගෙන යමින් වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මෙන්ම රෝගීන්ගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා වීමට එක හා සමාන ලෙස අවස්ථාවක් හිමි විය යුතු බව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අපගේ මතයයි.

අපි වෘත්තීය සමිති සන්ධානය ප්‍රධාන අරමුණු හතරක් කේන්ද්‍ර කොට ගොඩනැගී ඇත.

  1. වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වෛද්‍යවරුන් සතු වන මූලික මිනිස් අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම.
  2. නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන රටක් ලෙස රෝගීන්ගේ අයිතිවාසිකම් බිඳවැටෙන අවස්ථාවලදී පොදු මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිම.
  3. නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා වන පරිදි සෞඛ්‍ය සේවාව වඩාත් දියුණු තත්ත්වයට පත් කිරීම සඳහා පොදු අරමුණක් වෙනුවෙන් සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සන්ධාන සමඟ ඒකාබද්ධව කටයුතු කොට රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් සෞඛ්‍ය සේවාව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා කටයුතු කිරීම
  4. රටේ පොදු මහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික සංවර්ධන කාර්යයන් සඳහා සෞඛ්‍ය විෂය පථය යටතේ හා සෞඛ්‍ය බලගැන්වීම සඳහා සහාය වන අනෙකුත් බහු කාර්ය බහු ආංශික විෂය පථයන් නියෝජනය කරන වෘත්තීය හා සිවිල් සංවිධාන සමඟ ඒකාබද්ධව ජාතික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීම.

ඒ අනුව ඉතා පැහැදිලි වශයෙන් ම දැනට සෞඛ්‍ය සේවය තුළ ක්‍රියාත්මක වන ඇතැම් වෘත්තීය සමිති ව්‍යාපාර නියෝජනය කරන සීමා සහිත වපසරියෙන් ඔබ්බට ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයක් ලෙස ද සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ද ඉතා ශක්තිමත් තැනක සිට ක්‍රියාත්මක වීමට අප බලාපොරොත්තු වන අතර අප කටයුතු කිරීමේදී සෑම අවස්ථාවකදීම රෝගී අයිතිවාසිකම් ආරක්ෂා වීම කේන්ද්‍රකොට, රෝගී සත්කාර සිදු කරන වෛද්‍යවරුන්ගේ කායික සහ මානසික  සමතුලිතතාව රැකගතහැකි රාජ්‍ය සේවයක් නිර්මාණය වී තිබීම ඉතා අවශ්‍ය බව තරයේ විශ්වාස කරන්නෙමු.

එහෙත් පසුගිය කාලසීමාව මුළුල්ලේ අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිරත ඇතැම් අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී වෛද්‍යවරුන්ගේ බොහෝ වෘත්තීය සමිති ව්‍යාපාර පවා වෛද්‍යවරුන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හෝ මානව හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම  වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව ඉතා පැහැදිලි ය. පෙනෙන්නට තිබු අවස්ථා ගනණාවකදී ම දිගින් දිගට ම වෛද්‍යවරුන්ගේ කායික සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටෙන සිදුවීම් ගණනාවක්ම සිදුවෙද්දී ප්‍රාදේශීය වශයෙන් සේවය කරන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන්ට රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට නොහැකි වූ පරිසරයක් නිර්මාණය වෙද්දී ද ඇතැම් වෘත්තීය සමිති පෞද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර ඉතා විශාල වශයෙන් විරෝධතාවන් බිහි වෙමින් තිබෙන යුගයක දී අදාළ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා සහ ඉල්ලීම් මත මෙම ඉතා ශක්තිමත් වෘත්තීය සමිති සන්ධානය ගොඩනැඟූ බව සිහිපත් කරමු

බොහෝ අවස්ථාවලදී වෘත්තිය සමිති ව්‍යාපාර වෘත්තීය සමිති නායකයාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත මෙහෙයවන ස්ථානයක් බවට පත්වීම නිසා එය නියෝජනය කරන සාමාජිකයන්ගේ අයිතිවාසිකම් නොසලකා හරින ලද අවස්ථාවන් ක්‍රමානුකූලව වැඩි වර්ධනය වෙමින් පවතින බව අපගේ නිරීක්ෂණය යි. එක් පැත්තකින් වෘත්තීය සමිතිය නියෝජනය කරන සාමාජිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් බිඳවැටීම් දිගින් දිගටම සිදුවන අතර අනෙක් අන්තයෙන් නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රධාන බල කණුවක් වන රෝගී සත්කාර සේවා ලබාගන්නා සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් බිඳවැටීම සම්බන්ධයෙන් කිසිවකු හඬ නොනැගීම ඉතා කණගාටුදායක තත්වයකි.

මෙවන් තත්ත්වයක් තුළ වෘත්තීමය විෂය පථය තුළ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගරුත්වය සහ අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් අනෙක් අන්තයෙන් රෝගී සත්කාර සේවා ලබාගන්නා වූ ජනතාවගේ රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් මෙම කණ්ඩායම් දෙක අතර පාලමක් ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය අද පවතින තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීම සඳහා ඉතා සක්‍රිය වැඩපිළිවෙළක් ගොඩනැගීම සඳහා අප වෘත්තීය සමිති සන්ධානය කැපවී සිටින බව අවධාරණය කරනු කැමැත්තෙමු.

1965 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ආර්ථික සහ සමාජ දර්ශකවල ඉතා ඉහළ තලයක පවතිද්දී ඉතා පහළ තලයක පැවැති සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, චීනය, හා  ජපානය ඇතුළු බොහෝ රටවල් 2000 වර්ෂය වන විට ශ්‍රී ලංකාව අභිබවා ගිය අන්දමට ම  අප අපගේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් මීට වඩා දැඩි සැලකිල්ලක් නොදක්වන්නේ  නම් තවත් වසර පහළොවක් විස්සක් පමණ ගත වූ පසුව අපට සතුටු විය නොහැකි සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ශේෂ වී පැවතිය හැකි බව අපගේ නිරීක්ෂණයයි. අප අවධාරණය කරනු ලබන්නේ අපේ රටේ සෞඛ්‍ය සේවය විසි එක්වන සියවසට ගැලපෙන පරිදි නවීකරණය වීම සඳහා වහ වහා නව ප්‍රතිපත්ති සකස් වීම සිදුවිය යුතු බවයි. එහෙත් අවාසනාවට මෙන් අපගේ නිරීක්ෂණය නම් පසුගිය දශක කිහිපයක කාලයක් මුළුල්ලේ ම අපගේ සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපත්ති සකස් වීමේ දී නවමානයන් කෙරෙහි ඉතා අඩු අවධානයක් යොමු වී ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටින සමාජ ආර්ථික අර්බුදය සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගමන් මග සකස් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ලබාගන්නා පරිපාලන තීන්දු තීරණ වලට ඉතා ඉහළ තත්ත්වයක් හිමිවිය යුතු නමුත් පසුගිය කාලසීමාව තුළ ගනු ලැබූ බොහෝ තීරණ වල විද්‍යානුකූලභාවය සහ විනිවිදභාවය ප්‍රශ්න සහගත තත්ත්වයකට පත්ව ඇත.  විශේෂයෙන්ම රෝගී සත්කාරක සේවා කටයුතු සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ වලදී පවා ඇතැම් තීරණවල විද්‍යානුකූලභාවය ප්‍රශ්න සහගත බව අපගේ නිරීක්ෂණය යි.

විද්‍යානුකූල පසුබිමක් මත විනිවිද පෙනෙනසුළු තීන්දු තීරණ ගැනීමට හැකියාව පවතිද්දී ඇතැම් වෘත්තීය සමිති ව්‍යාපාරවල දැඩි බලපෑම් මත හෙවත් වෘත්තීය සමිති මාෆියාවේ ක්‍රියාකාරීත්වය නිසා ද ඇතැම් ඉහළ නිලධාරීන්ගේ නිලධාරිවාදී ක්‍රියාකාරීත්වය හෙවත් නිලධාරිවාදී මාෆියාව නිසා ද දේශපාලන බලපෑම් හෙවත් දේශපාලන මාෆියාව නිසා ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන යහපැවැත්ම දැඩි ලෙස අනතුරට ලක්ව ඇති බව අපගේ මතයයි.

වෘත්තීයති සමිති ව්‍යාපාරයක් ලෙස වෛද්‍යවරුන්ගේ මූලික අයිතිවාසිකම් සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නමුත් කුමන හේතුවක් නිසාවත් චෝදනා එල්ල වන වෛද්‍යවරුන් හෝ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් හෝ පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන අතර කොන්දේසි විරහිත ව අදාළ නිලධාරීන්ට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස හඬ නැගීමටත් ඔවුන් ජනතාව හමුවේ හෙළිදරව් කිරීමටත් අප පසුබට නොවන බව යළිත් අවධාරණය කර සිටින්නෙමු.