මීගමුව ශාන්ත මරියා විදුහලේ හිටපු විදුහල්පතිවරයා පරීක්ෂණ අවසන් වීමට පෙර නැවත සේවයේ පිහිටුවලා

ceylon-teachers-union

විභාග වංචාවකට හා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවතින මීගමුව ශාන්ත මරියා විදුහලේ හිටපු විදුහල්පතිවරයා පරීක්ෂණ අවසන් වීමට පෙර නැවත සේවයේ පිහිටුවීම වහා අවලංගු කර මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විධිමත්ව හා අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් කියා සිටින්නේ, මීගමුව ශාන්ත මරියා විදුහලේ හිටපු විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ 2020 වසරේ පැවති උසස් පෙළ විභාගයේ දී තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය අවභාවිත කරමින් සිදු කරන ලද විභාග වංචාවක් හේතුවෙන් ඔහු පාසලෙන් ඉවත් කර පාසල් භූමියට ඇතුළු වීමද තහනම් කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් පරීක්ෂණයක් සිදුකරමින් පවතී.

එසේම මෙම විදුහල්පතිවරයා විසින් පාසලේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනයක් සිදු වෙමින් තිබේ. පාසලක ගිණුම් 3 ක් පමණක් පවත්වා ගත යුතුව තිබියදී අනීතික ලෙස තොරතුරු තාක්ෂණ ඒකක ගිණුම (ගි.අං. 0944004), Sport Association  ගිණුම (ගි.අං. 77020040),  Cricket Association  ගිණුම් (ගි.අං. 75989166),  Charity  ගිණුම (ගි.අං. 80615897),  M.S. St. Mary's Charity Association  ගිණුම (ගි.අං. 81131346) යනුවෙන් පාසලේ ගිණුම් 5 ක් පවත්වාගෙන ගොස් ඇති අතර දූෂිත ආකාරයෙන් ගණුදෙනු සිදුකර ඇත. මෙම ගිණුම්වල අත්සන් කිරීමේ බලය යොදා ඇත්තේ විදුහල්පතිවරයා හා වෙනත් බාහිර පුද්ගලයන්ය. St. Mary's Charity Association  නමින් පවත්වාගෙන යන ස්ථාවර තැන්පතු ගිණුමේ රුපියල් කෝටියක මුදලක් ඇති අතර, එම ගිණුමේ පොලිය මාසිකව මෙම විදුහල්පතිවරයාගේ පෞද්ගලික ගිණුමට බැරවන ආකාරයෙන් කටයුතු කර ඇත. පාසලේ ගොඩනැගිල්ලක් ඉවත් කිරීමට පාසලේ එක් ළමයෙකුගෙන් රුපියල් 5000 බැගින් මුදල් එකතු කර ඇති අතර, එම මුදල් භාවිත කළ ආකාරයක් නැත. පෞද්ගලික දානපතියකු විසින් ඉඩමක් විකුණා පාසලේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය වෙනුවෙන් කෝටියක මුදලක් ලබා දී ඇති අතර, එම මුදල් සම්බන්ධයෙන් ද සිදු වූ දෙයක් නැත. ඒ පිළිබඳව දැනගැනීමට හැකි වී ඇත්තේ පරිත්‍යාගය කළ පුද්ගලයා විසින් පසුගිය කාලයේ වැඩබැලූ විදුහල්පතිවරියගෙන් ඒ පිළිබඳව කළ විමසීමේ දී ය. එසේම දිනපතා පාසලට ප්‍රමාද වී පැමිණෙන සිසුන්ගෙන් රු.150-250 දක්වා මුදලක් මෙම විදුහල්පතිවරයා විසින් දඩමුදල් ලෙස එකතු කර ඇති අතර, එම මුදල්වලට සිදු වූ දෙයක් නැත.

මෙම විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කර සිටි කාලයේ ළමුන් ඇතුළත් කිරීමේදී පරිත්‍යාග ලෙස සිය කැමැත්තෙන් දෙමාපියන් විසින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දී ඇති අතර, වැඩබනල විදුහල්පතිවරිය විසින් එම මුදල් නිසි ලෙස ගිණුම්ගත කර ඇත. එහෙත් ඊට පෙර චෝදනාලාභී විදුහල්පතිවරයා විදුහල්පති ධූරයේ කටයුතු කරද්දී එලෙස පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් ගිණුම් ගත කර නොමැති අතර, එම මුදල් වංචා කර ඇති බව පෙනී යයි.

එසේ තිබියදී 2022.02.09 දින රාත්‍රී 8.30 ට පමණ මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු මහතා විසින් පාසලේ වැඩබලන විදුහල්පතිවරිය වන මනිලා පෙරේරා  මහත්මියගේ නිවසට ගොස් බලහත්කාරයෙන් යතුරු ලබාගෙන පාසලේ ලොග් සටහන් පොතේ සටහනක් ද තබා මෙම විදුහල්පතිවරයා නැවත පාසලේ විදුහල්පති ලෙස පත් කර ඇත. මෙය බරපතල අනීතික ක්‍රියාවකි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු මහතා මෙවර අපොස උසස් පෙළ විභාගයේ මීගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන අතර, විභාග වංචනිකයෙකු සමග විභාග නීතිරීති උල්ලංඝණය කරමින් මෙම විදුහල්පතිවරයා සේවයේ පිහිටුවීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත.

මේ තත්වය තුළ මෙම සේවයේ පිහිටුවීම වහා අවලංගු කර මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විධිමත්ව හා අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.