සේවක අරමුදල් කොල්ලකන අධිභාර බදු පනත් ඉවත් කිරීමට වහාම මැදිහත්වන ලෙස කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලයි

සේවක අරමුදල් කොල්ලකන අධිභාර බදු පනත් ඉවත් කිරීමට වහාම මැදිහත්වන ලෙස කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලයි

2022/02/07 දින ගැසට් පත්‍රයේ පලකරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන අධිභාර බදු පනත් කෙටුම්පතට පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ලෙස අපගේ විරෝධය පලකර සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය කම්කරු අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ලංකාවේ විශ්‍රාම වැටුප් අහිමි පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ට තමන් වෙනුවෙන් ඉතිරිව ඇති එකම වත්කම වන්නේ EPF/ETF තැන්පතු පමණි. එම තැන්පත් අරමුදල් ඉතිහාසය පුරාවට ආණ්ඩු විසින් විවිධාකාරයට කොල්ලකෑම සිදුකරන ලදී. 2008-2012 කාලය තුල එවකට පැවති ආණ්ඩුවේ මැදිහත්වීම මත කොටස් වෙළඳපොල තුල ආයෝජන කරමින් රු.මිලියන 30000 කට වැඩි මුදලක් අරමුදලට අහිමි කරන ලදී. 2015-2017 බැඳුම්කර වංචාව හරහා එම ආණ්ඩුව ද රු.මිලියන 28000 කට වැඩි මුදලක් EPF අරමුදලින් කොල්ලකන ලදී. වර්තමාන ආණ්ඩුව නැවතත් අලූත් වටයකින් ක්‍රියාත්මකව ඇත්තේ සේවකයින්ගේ අරමුදල් වල පොලී ආදායමෙන් 25%ක් කොල්ලකෑමටය.

අරමුදල් ආයෝජනය කර ලැබෙන ආදායමට, ආදායම් බදු අයකරන ආණ්ඩුව සේවක අරමුදල් මෙසේ කොල්ලකෑම පෞද්ගලික අංශයේ සේවකයින් කිසිසේත් අනුමත නොකරයි. මෙම අධිභාර බදු පනත හරහා සිදුකරන ක්‍රියාව නැවැත්වීමට කම්කරු ඇමතිවරයා ලෙස ඔබතුමා වහාම මැදිහත් විය යුතුය.

පෞද්ගලික අංශයේ වැඩකරන 26 ලක්‍ෂයකට අධික EPF අරමුදල් සාමාජිකයින්ට මෙම අධිභාර බදු පනත හරහා විශාල ආර්ථික හානියක් මෙන්ම අසාධාරණයක් ද සිදුවෙයි. සේවක අර්ථසාධක අරමුදලක් ලෙස එකට පැවතියද එය තනි පුද්ගලයින්ට අයිති ගිණුම් 26 ලක්‍ෂයකි. මෙහි කිසිවෙකුත් රු.මිලියන 2000 කට වැඩි පොලී ආදායමක් ලබන්නේ නැත. එබැවින් ඒකාබද්ධ සේවක අරමුදලක් වන සේවක අර්ථසාධක අරමුදලින් මේ ආකාරයට බදු අයකිරීම හරහා එක් සේවකයෙකුට අවම රු.30000/= ක මූල්‍ය අලාභයක් වසරක් තුල සිදුවෙයි. 2021 වර්ෂයේ පමණක් මෙම අධිභාර බදු ලෙස අයකර ගැනීමට අපේක්‍ෂිත මුදල රු.මිලියන 69000 කි. මෙම මුදල් සාමාජික ගිණුම් වලට ලැබිය යුතු මුදල්ය.

ඔබතුමා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස රටේ වැඩකරන ජනතාවගේ අරමුදල් වලින් මෙසේ බදු අය කිරීමට විරුද්ධව කැබිනට් මණ්ඩලය තුල කටයුතු කරන ලෙසත්, මෙම අරමුදල් කොල්ලයට රටේ වැඩකරන ජනතාවගේ විරෝධය ආණ්ඩුවට ඉදිරිපත් කරන ලෙසත්, මෙම බදු පනත වහාම හකුලාගන්නා ලෙසත් අප සංගමය ඉල්ලා සිටින්නෙමු.

පෞද්ගලික අංශයේ සේවකයින් සියළුදෙනාගේ විරෝධය පලකරන මෙම අධිභාර බදු පනත හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටින අප සංගමය, එසේ නොවන්නේ නම් මෙම පනත හකුලා ගන්නා තෙක් අඛන්ඩව වෘත්තීය සමිති විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා බවත් දන්වා සිටිමු. ඒ හරහා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳවැටීම, රටම කාර්මික ආරවුලකට තල්ලූ කිරීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද දන්වා සිටිමු.