ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අවසන් කටයුතු අද

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අවසන් කටයුතු අද

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයෙක් වූද, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාවේ සිංහල මාධ්‍ය පැමිණිලි නිළධාරී වූද, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනආරච්චි මහතා පෙබරවාරි 20 දින හදිසියේ රෝගාතුරව අභාවප්‍රාප්ත විය.

මිය යන විට 53 හැවිරිදි වියේ පසු වූ කමල් ලියනආරච්චි මහතා දශක තුනක පමණ කාලයක් වෘත්තිය මාධ්‍යවේදියෙකු වශයෙන් ක්‍රියාකරමින්, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම පිණිස සටන් කළ ක්‍රියාකාරී වෘත්තිය මාධ්‍යවේදියෙකු වූයේය. 90 දශකය මුලදී ඇත්ත පුවත්පතින් සිය මාධ්‍ය මෙහෙවර ආරම්භ කළ කමල් 1993 සිට යුක්තිය පුවත්පතෙහි කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් ලෙස සේවය කළේය. පසුව 2001 වසරේදී දිනපතා ලක්බිම පුවත්පතට සම්බන්ධව එහි නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ධුරය දක්වා ගමන් කළේය. සිය මාධ්‍ය වෘත්තික භූමිකාවෙහි වැඩි කාලයක් ලක්බිම පුවත්පත සමග ගත කර 2006 වසරේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට සම්බන්ධ විය. මාධ්‍ය වෘත්තීය ආචාර ධර්ම, තොරතුරු දැන ගැනීමේ අයිතිය වැනි විෂයන් සම්බන්ධයෙන් ප්‍රවීණ සම්පත්දායක වූ කමල් ලියනආරච්චි මහතා සිය අවසාන කාලයේ දි වෘත්තීය ජීවිතයේ දි මෙන්ම විවේවක කාලයද මාධ්‍යවේදීන් හා සිවිල් සමාජය දැනුවත් කිරීම පිණිස කාලය කැප කළ තැනැත්තෙක් විය. මෙම කාලය පුරා ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙහි සක්‍රීය සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය .

නැසි ගිය කමල් ලියනආරචිචි මහතා ගේ දේහය අවසන් ගෞරව සඳහා පයාගල, පාලයන්ගොඩ, අංක 117 දරන නිවසෙහි තැන්පත්කර ඇති අතර, අවසන් කටයුතු 23 වැනි බදාදා පයාගලදී සිදු කිරීමට නියමිතය.