අමාත්‍ය අනුකමිටු පත් නොකිරීමෙන් ගුරු ගැටලුව සංකීර්ණ වෙයි

අමාත්‍ය අනුකමිටු පත් නොකිරීමෙන් ගුරු ගැටලුව සංකීර්ණ වෙයි

අමාත්‍ය මණ්ඩල අනුකමිටු නිර්දේශ මත විශේෂ කමිටුවක් පත් නොකිරීමෙන් ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් නොලැබී ඇති බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ගැටලු විසඳීමට බල කරමින් සමස්ත ගුරු විදුහල්පතිවරු මාස තුනකට වැඩි කාලයක් ගෙනගිය අරගලය තුළ ගුරු විදුහල්පති සේවාවන්හි ගැටලු විසඳීම සම්බන්ධයෙන් රජය විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලද අතර, වැටුප් විෂමතා ගැටලුවට අමතරව ගුරු විදුහල්පති සේවාවල පවතින සෙසු ගැටලු ගණනාවක් විසඳීම සම්බන්ධයෙන් එම කමිටුව නිර්දේශ ලබාදෙන ලදී. ඒ අනුව 2021.08.30 දිනැති අමාත්‍ය මණ්ඩල විසින් එම වාර්තාව අනුමත කරන ලද අතර, ඒ සඳහා කමිටුවක් පත් කර එදින සිට මාස 6 ක් තුළ එම ගැටලු විසඳිය යුතු බවට එහි සඳහන් කර ඇත.

එහි අවධානය යොමු කර ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පැමිණීමේදී සිදුවන වැටුප් අඩුවීමේ ගැටලුවයි. එම ගැටලුවට විසඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල අනුකමිටුව යෝජනා කර ඇත්තේ ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට බඳවා ගැනීමේදී දැනට පවතින ආකාරයට විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට පමණක් නොව ගුරු සේවයේ සේවා පළපුරුද්ද අනුව විදුහල්පති සේවයේ 1, 11 හා 111 ශ්‍රේණිවලට බඳවා ගැත හැකි පරිදි සිරස්ව හා තිරස් ලෙස උසස්වීම් ලැබිය හැකි පරිදි විදුහල්පති සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. එසේම ගුරු සේවයෙන් විදුහල්පති සේවයට බඳවා ගැනීමේ දී මුල් පත්වීමක් ලෙස නොව උසස්වීමක් ලෙස පිළිගැනීමට යෝජනා කිරීම ද සිදුකර ඇත.

විදුහල්පති සේවය මාණ්ඩලික තත්වයේ පවතින බැවින් විදුහල්පති තනතුරු සඳහා අනෙකුත් රජයේ මාණ්ඩලික නිලධාරීන් වෙත ලබා දෙන දීමනා හා කාර්යාල පහසුකම් ලබාදීමට ද අමාත්‍ය අනුකමිටුව යෝජනා කර ඇත.

ගුරු සේවයේ නොවිසදුනු ගැටලු සම්බන්ධයෙන් ද අමාත්‍ය අනු කමිටුව අවධානය යොමු කරමින්  1999 වසරේදී රජයේ ප්‍රමුඛතා කාර්යයන් සඳහා බඳවා ගත් උපාධිධාරීන් 2000 කට ආසන්න පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර උසස්වීම් ලබාදී තිබුණ ද ඔවුන් 2006 ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන තුරු පුස්තකාල සංවර්ධන නිලධාරීන්, පාසල් කළමනාකරණ නිලධාරීන් ලෙස තනතුරු දැරූ කාලය තුළ ඔවුන් ඉගැන්වීම් කටයුතුවල නිතර වූ බැවින් එම සේවා කාලය ගුරු සේවයේ සේවා කාලයට එකතු කිරීමට කටයුතු නොකිරීම පිළිබඳව ද අවධානය යොමු කොට අමාත්‍ය අනු කමිටුව යෝජනා කරන කමිටුව හරහා ඒ සඳහා විසඳුම් ලබාදිය යුතු බව දක්වා ඇත.

එසේම මේ වන විට බඳවාගෙන ඇති 3200 කට වැඩි ගුරු සහායකයින් ගුරු පුහුණුව අවසන් කර ඇති බැවින් ඔවුන්ගේ ගැටලුවලට ද මෙම කමිටුව හරහා විසඳුම් ලබාදෙන ලෙස දක්වා ඇත.

2021.08.20 දිනැතිව ඉදිරිපත් කරන ලද මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටු යෝජනා අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කළ 2021.08.30 දින සිට මේ වන විට මාස 6 ක කාලයක් සම්පූර්ණ වී ඇත. එහෙත් මේදක්වා අදාළ ගැටලුවලට විසඳුම් ලබාදීමට අදාළ කමිටුව පත්කර නැත.

මේ තත්වය තුළ කඩිනමින් ඉහත අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ කමිටු පත් කර, මෙම ගැටලු විසඳීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. එසේ නොවන තත්වයක් තුළ මෙම ගැටලු විසඳීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බව පෙන්වා දෙමු.