කම්කරුවන්ට හරියට නොසැලකුවොත් වතු ආර්ථිකය කඩා වැටෙනවා

කම්කරුවන්ට හරියට නොසැලකුවොත් වතු ආර්ථිකය කඩා වැටෙනවා

මේ වන විට වතු වල තරුණ තරුණියන් කොළඹ නගරයේ විවිධ රැකියාවලට පැමිණීමත්,කාන්තාවන් විදෙස් රැකියා සඳහා යාමත්  නිසා මේ වන විට  වතුකරයේ තේ කර්මාන්තය බරපතළ අර්බුදයට ලක් වී ඇත.එයට හේතුව වතුකරයේ කම්කරු ජනතාවට වතු හාම්පුතුන් ගෞරවනීය ලෙස නොසැලකීම බවත්,මේ තත්ත්වය දිගටම පැවතිය හොත් තව අවුරුදු කීපයකින් මෙරට තේ කර්මාන්තය පවත්වාගෙන යාමට සේවකයන් රඳවා ගැනීමට නොහැකි වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කළේ  රුපියල් ලක්ෂ 920 ක වියදමින් හැටන් නගරයේ ඉදි කළ නව කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය පසුගියදා  (26) දින ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් පැවති ජන හමුවේදීය.හැටන් හි පැවති  ඉතාමත් පැරණි හා  සීමිත ඉඩ පහසුකම් පැවති කාර්යාලය  වෙනුවෙන් මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදි කරනු ලැබූ බවත්,මේ තුළින් කම්කරු ජනතාවට උපරිම සහ ගෞරවනීය සේවයක් ලබාදීම මෙහි සේවකයන්ගේ වගකීම බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ,සුදු අධිරාජ්‍යවාදීන් මෙරටට ආනයනය කළ වතු කම්කරු ජනතාව එදා මෙරට ආර්ථිකයේ ප්‍රබල සාධකයක් වූ බවත්, එදා වතු කම්කරු ජනතාව නොමැතිව අප රටේ ආර්ථිකය  පවත්වාගෙන යාමට නොහැකි තරමට ඔවුන්ගේ සේවය මේ රටට අත්‍යවශ්‍ය  වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නමුත් මේ වන විට වතු කම්කරු ජනතාව සහ හාම්පුතුන් අතර පවතින ගැටුම්කාරී සහ නොසලකා හැරීම තත්ත්වය නිසා වතුකරයේ තරුණ තරුණියන් සහ කාන්තාවන් වතුකරයෙන් බැහැර රැකියා සඳහා යෑම බහුල වී ඇත.එම නිසා තේ කර්මාන්තය පිළිබඳ රජයටත් හාම්පුතුන්ට අලුතින් සිතීමට සිදුවී ඇත.රජය සහ හාම්පුතුන් එසේ වතු කම්කරුවන් පිළිබඳ ගෞරවනීය ලෙස සැලකීම ප්‍රමාද වුවහොත් මෙම වතු තව කොතෙක් කල්  පවත්වා ගෙන යාමට හැකි වේදැයි කිව නොහැක.ඒ සඳහා ඇති හොඳම විසඳුම මෙම වතු කම්කරු ජනතාව මෙම වතුවල පරිපාලනයට සෘජුවම දායක කරගෙන, වතුවල තිරසර සංවර්ධනයට ඔවුන් කොටස්කරුවන් කර ගැනීමයි. ඒ අනුව මේ සඳහා ඇති හොඳම විකල්පය  වතුවල ඉඩම්  කම්කරු ජනතාවට යම් ප්‍රමාණයක් භාරදී ඔවුන්ගේ දළු එම තේ කම්හල් මිලදී ගැනීමේ  වැඩපිළිවෙළක් ආරම්භ කිරීමයි. එවිට එම කම්කරු ජනතාව එම තේ ඉඩම් තමන්ගේ ඉඩම් ලෙස උවමනාවෙන් සංවර්ධනය කර පවත්වාගෙන යෑමට පෙළඹෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවැනි හෝ විකල්ප වැඩපිළිවෙලකට රජයේ සහ වතු සමාගම් නොගියොත් අනාගත වතු  කම්කරු ප්‍රජාව මෙම වතුවල රඳවා ගැනීම බරපතළ අර්බුදයක් වන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එම නිසා  තේ කර්මාන්තයේ අනාගතය සඳහා මෙවැනි විකල්ප වැඩපිලිවෙලක් වතු ක්ෂේත්‍රයට හඳුන්වා දීම රජයේ වගකීමක්. රජය පාර්ශ්වයෙන් අපි කළ යුතු ප්‍රධාන කාර්යයක් වූ රුපියල් දහසයේ දෛනික වැටුප ලබාදීම සිදු කළත්, වතු කම්කරු වෘත්තීය  සමිති අතර පවත්නා බෙදීම් නිසා සහ එම වෘත්තීය සමිති නායකයන් එක මතයකට නොපැමිණීම නිසා  එම රුපියල් දහසේ වැටුප යථාර්ථයක් කරගැනීමට අද අපහසු වී තිබෙනවා. වතු කම්කරු නායකයන්ගේ  මෙම අසමගිය නිසා අද පීඩාවට පත්වී ඇත්තේ  වතුකම්කරු ජනතාවයි . එද හාම්පුතුන් මෙම රුපියල් දහසේ වැටුප ලබා දීමට තරයේ විරුද්ධ වෙත්දී , පඩි පාලක සභා මගින්  එම තීරණය තමා ගනු ලැබුවත්, වතු හාම්පුතුන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  එම තීරණය අභියෝගයට ලක් කර ඇති බැවින් අද ඒ පිළිබඳ අර්බුදයක් පැන නැගී ඇත.හාම්පුතුන් මෙම පඩි පාලක සභා තීරණයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලුවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ තුමන්ලා ඉතා උනන්දුවෙන් හා ඕනෑකමින්  කරුණු පෙන්වා දී  හාම්පුතුන්ගේ ඉල්ලීම අධිකරණය ඉදිරියේ නිශේදනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ තුමන්ලාට ගත් උත්සාහයට තමන්ගේ  බලවත් ස්තූතිය පුද කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

රජයටත් ඇමැති ලෙස තමාටත් කම්කරු ජනතාවට යම් යම් දේවල් දිනා දීමට හැකි වුවත් සමහර ප්‍රශ්නවලදී වෘත්තීය  සමිති එකමුතුව වැඩ නොකිරීම නිසා, තම තමන්ගේ පෞද්ගලික ඊගෝව ගැන කල්පනා කර වැඩ කිරීම නිසාත් කම්කරු ජනතාවගේ   අයිතිවාසිකම් දිනා  ගැනීමට අද නොහැකි වී තිබෙනවා  එම නිසා කම්කරු ජනතාවට යම් සහනයක් සලසාදීමට නම් වෘත්තීය සමිති එකමුතුව, සාමූහිකව,ශක්තිමත් ඒකාබද්ධ තාවයකින් යුතුව  කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇමතිවරයා අවධාරණය කළේය.

නමුත් මේ වන විට වතු 80% පමණ මම රුපියල් දහසේ වැටුප ලැබෙන බවත්,එම රුපියල් දහසේ වැටුප නොගෙවෙන වතු සහ   ඊට මුවා වී කම්කරුවන්ට සිදුකළ විවිධ අඩන්තේට්ටම් හා අසාධාරණකම්  පිළිබඳ පැමිණිලි මේ වන විට ගොනු කරමින් සිටින  බවත් එම පැමිණිලි අමතක කර නොමැති බවත්  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය කාලයේ පැවති කොරෝනා තත්වයක් නිසා එම පැමිණිලි සම්බන්ධව පියවර ගැනීමට නොහැකි වුවත්  මේ පිළිබඳව අවශ්‍ය පියවර හා රුපියල් 1000 දෛනික වැටුප කම්කරු ජනතාවට ලබාදීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන  බව අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාධාක්‍රිෂ්ණන් මැතිතුමන් මෙහිදී  පැවසූ ආකාරයට  පාර්ලිමේන්තුවට  නව නීති හෝ ගෙන එනවිත් මෙම රු.1000 වැටුප කම්කරු ජනතාවට ලබාදීමට කටයුතු කරන  බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

වතු කම්කරුවන්ගේ සුභසාධනය  ආණ්ඩුව බාර ගෙන වතුවල පාරවල් රෝහල්, පාසල්, සියල්ල සංවර්ධනය කිරීමට  රජයේ අරමුදල් ලබාදී ඇත.වතු රෝහල් රජයට පවරා ගත්තේ  ද , වතු රෝහල්වලට  එම්.බී.බී.එස්  වෛද්‍යවරුන් අනුයුක්ත කළේ ද තමන් සෞඛ්‍ය ඇමැති කාලයේ බවත් අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේය.

එසේම වතු වෘත්තීය සමිති සඳහා  සාමාජික මුදල් අය කර එම සමිතිවලට යොමු කිරීම මෙතෙක් කලක් පැවති සම්ප්‍රදාය වුවත් මෙම රුපියල් දහසේ වැටුප වැඩි කිරීමෙන් පසු වතු පරිපාලන යන්න කටයුතු අත්හැර දමා ඇතැයි වාර්තා වන බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම සාමාජික මුදල් වතු කම්කරුවන්ගේ  අය කරගෙන වතු වෘත්තිය සමිතිවලට යොමු කිරීමට හාම්පුතුන් බැඳී නැති බවට වන තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අතීතයෙදි ලබාදී ඇති බැවින් මෙම තත්ත්වය පැන නැගී ඇතැයි ඇමැතිවරයා පැහැදිලි කළේය.

මේ තත්ත්වය වෙනස් කිරීමට නම් එම නඩු තීන්දුව එම නීතිය වෙනස් කළ යුතු බවත්, එම නිසා ඉදිරියේදී පඩිපාලක සභා පනත  කඩිනමින් සංශෝධනය කොට එම අයිතිවාසිකමත් කම්කරු  ජනතාවට ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය.

එසේම අප රටේ වෘත්තීය සමිති ද නියාමනය විය යුතුයි. වතුකරයේ බහුතර කම්කරු ජනතාව කාන්තාවන් වුවද වතු වෘත්තීය සමිතිවල කාන්තාවන්ට සැලකිය යුතු පිළිගැනීමක් ලැබී  නැත.එම නිසා  වෘත්තීය සමිතිවල තීන්දු තීරණ ගැනීමේ මණ්ඩලවල යම් ප්‍රතිශතයක් අනිවාර්යෙන්ම කාන්තාවන්ට ලබාදීමට අදාළව  වෘත්තීය සමිති ආඥා පනත  සංශෝධනය කරන බව ඇමැතිවරයා මෙහි දී පැවසීය.

තමන් කම්කරු ඇමති වූ පසු කම්කරු ජනතාවට සහන සැලසෙන පරිදි පැරණි නීතිරීති විශාල ප්‍රමාණයක් සංශෝධනය කළ බවත්,අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා තමන්ගේ පැය පැය අටේ සේවා කාලය තුළින් පැය හතක්ම වැය කරන්නේ මෙම නීති  සංශෝධනයට  බවත් ඒවා ඔහු තමන්ගේ අතින්ම ලියන බවත් ,එම සංශෝධන හෝ නව නීති  කෙටුම්පත් කර  නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඔහු උපරිමයෙන් පුද්ගලිකව මැදිහත් වෙමින් එම කටයුතු සාර්ථක කර ගැනීමට දැඩි උනන්දුවක් ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

ඒ අනුව මේ වන විට කම්කරු නඩු විමසීමේ සමගාමී  බලය කම්කරු විනිශ්ච සභා සඳහා ලබාදීමට  අදාල නීති රීති සංශෝධනය කිරීමට විශාල පරිශ්‍රමයක් දරනවා.එම කටයුත්ත ලඟදීම සාර්ථක වන බව ද ඇමැතිවරයා සිහිපත් කළේය.

 එසේම කම්කරු වන්දි,අර්ථසාධක අරමුදල් නොගෙවීම්,බේරුම්කරණ තීන්දු වැනි කාරණා සම්බන්ධව  තීන්දුවලට එරෙහිව හාම්පුතුන් ඉහළ අධිකරණවලට යන්නේ  නම් ඒ සඳහා අදාළ අධිකරණයේ තීන්දු ප්‍රකාර මුදල කම්කරු කොමසාරිස් ළඟ තැන්පත් කළ යුතු බවට ද නව නීති ගෙන එන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එසේම  කම්කරුවෙක් සේවය අතරතුර දී හදිසි අනතුරකට ලක් වූවා නම් හෝ මිය ගියා නම් ඔහුට වන්දි ලබාදෙන්නේ  කම්කරු වන්දි උසාවියයි. අද ඒ සඳහා ඉන්නේ  එක කම්කරු වන්දි විනිශ්චකාරවරියයි. ඇයට   රටවටා යමින් මෙම නඩු ඇසීමට සිදු වී තිබෙනවා.මෙම නඩු කඩිනමින් අවසන් කිරීමට මම නීතිපති දෙපාර්තමේන්තුවෙන් තවත් විනිශ්චකාරවරුන් දෙදෙනෙකු ඉල්ලා සිටියත් ඔවුන් එය ලබාදීමට ඇති නොහැකියාව කියා සිටි නිසා කම්කරු ඇමැති හැටියට මම කම්කරුවන්ට සාධාරණය ඉටු කිරීමට වට්ටියෙන් හෝ පෙට්ටියෙන් එම කාර්යය ඉටු කළ යුතු නිසා  මෙම කම්කරු වන්දි නඩු විමසීමේ සමගාමී බලය ද කම්කරු විනිශ්ච සභාවලට ලබාදීමට කඩිනමින් නීති සංශෝධනය  කරනවා.

අපේ රටේ මෙතෙක්  පැවතියේ  කම්කරුවෙකු මිය ගියහොත් උපරිම වන්දි මුදල ලක්ෂ පහයි.එය ලක්ෂ 20 දක්වා වැඩි කිරීමේ යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කම්කරුවා අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ,දැන් සමහරුන් ද අපේ පක්ෂයේ  අය ද අපෙන් අහනවා ඇයි මේ ආණ්ඩුවේ එල්ලිලා ඉන්නේ  කියලා.මේක අපිත් එකතු වෙලා හදපු ආණ්ඩුවක්.අපි මේ ආණ්ඩුවේ ඉන්නේ පෞද්ගලිකව ප්‍රතිලාභයක් ලබාගන්න නොවේ.මෙම රජය මා වෙත ලබාදුන්  කම්කරු විෂය තුළින්,කිසිම කම්කරු ඇමතිවරයෙකු නොකළ තරමේ විශාල සේවයක් කම්කරු ජනතාවට කිරීමට මට අවස්ථාව ලැබුණා. මේ රටේ කම්කරු ජනතාව වසර ගණනාවක් පුරා පීඩාවට පත් වූ ,ගොඩ ගැසී තිබූ ප්‍රශ්න රාශියක් විසඳන්න ඒවාට අදාළ නීති රීති හදන්න සංශෝධනය කරන්න මට  මට හැකි වුණා.ඒ හැම අවස්ථාවකදීම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත්  කැබිනට් මණ්ඩලයත් මට පූර්ණ සහයෝගය ලබා දුන්නා.මේ ආණ්ඩුව සමඟ අපි එකතු වී කටයුතු කළ නිසා කම්කරු ජනතාවගේ යහපත, හිත සුව පිණිස  විශාල වැඩ කොටසක් අපිට කිරීමට හැකියාව ලැබුණා.

මේ ආණ්ඩුවේ අඩුපාඩු ඇති.ආණ්ඩුවේ සමහර මත වාද සහ අපි අතර වෙනස්කම් තියෙනවා.නමුත් පාරක් හදාගන්න , ඡන්දදායකයන්ට රැකියාවක් දීම, වැනි දේවල් කර ගැනීමට නොහැකි වුවත් පුළුල් ජාතික සේවාවක් කිරීමට මෙම රජය අපට අවස්ථාව ලබාදී තිබෙනවා අපි එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ රටේ කම්කරු ජනතාවට උපරිම සහනය සලසා දීමට රජයට දායකත්වය ලබාදීම  අපේ අපේක්ෂාව.

මේ හැටන් කම්කරු කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරිම  දීර්ඝකාලයක් ප්‍රමාද වී තිබුණා.මමත් ලේකම්තුමා කම්කරු කොමසාරිස් ජනරාල් තුමත් සැරෙන් සැරේ ඇවිල්ලා මේක නිරීක්ෂණය කරමින් ඒ ඉදිකිරීම් කඩිනම් කළා.කොන්ත්‍රාත්කරු සිමෙන්ති නැහැ කිවුවහම මම මැදිහත්වෙලා සිමෙන්තිත් ලබා දුන්නා.අපි උත්සාහ කරන්නේ අපේ ජනතාවට උපරිම ප්‍රතිලාභයක් ලබා දෙන්නයි.නමුත් කෙටිකාලීනව කල්පනා කර ඉක්මනින් තනතුරුවලට පත් වෙන්න උත්සාහ කරන අය අපිට ඉක්මන් තීන්දු ගන්න කියනවා. දේශපාලන තීන්දු වුවත් ගත යුත්තේ එය ගත යුතු අවස්ථාවේදීයි.  කොච්චර හොඳ තීන්දුවක් වුණත් වැරදි අවස්ථාව ගත්තොත් ඒකෙන් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය  ලැබෙන්නේ නැහැ. ඊයෙ පෙරේද ආව දේශපාලන පරිණතභාවයක් නැති  අය බොහොම ඉක්මන් තීන්දු තීරණ ගන්න කියලා අපිට කියනවා.නමුත්  ප්‍රායෝගික දේශපාලනඥයන් ලෙස අවුරුදු තිස් පහක් දේශපාලනය කළ අත්දැකීම් තුළින්   අපිට එවැනි හදිසි තීරණවලට යන්න බැරි බව අපි අවබෝධ කරගෙන ඉන්නේ.

කම්කරු දෙපාර්තමේන්තුවෙන් තව වැඩ කටයුතු රාශියක් කිරීමට තිබෙනවා.කොරෝනා වැනි වසංගතයක් ඇවිල්ලා  රටේ ආර්ථිකය කඩා වැටුනාම  මිනිස්සුන්ට පිහිට වෙන්න සමාජ ආරක්ෂණ ක්‍රමයක් අද අපේ රටේ නැහැ.වෙන රටවල් වල එවැනි සමාජ ආරක්ෂණ ක්‍රම, රක්ෂණ, අරමුදල්  තිබෙනවා.මුදල් ඇමතිතුමා ඇමතිතුමා පසුගිය දිනවල රුපියල් පන්දහස බැගින්  මිනිස්සුන්ට සහනයක් වෙන්න බෙදුවා.නමුත් ඒක නිවැරදි දීර්ඝකාලීන ස්ථාවර  විසඳුමක්  නොවන නිසා අපේ රටේත්   ජනතාවට, විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ට සහනයක් සැලසෙන පරිදි ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කළ යුතුයි.අද පෞද්ගලික අංශයේ සේවකයන්ට තිබෙන එකම ශක්තිය ආසියාවේ ඇති විශාලතම අරමුදල වන  සේවක අර්ථසාධක අරමුදල පමණයි.

පසුගිය දිනවල මෙම  අර්ථ සාධක අරමුදලෙන් සියයට විසිපහක අධිභාරයක් අය කිරීමට  යෝජනා වූ අවස්ථාවේ කම්කරු ඇමැතිවරයා ලෙස මම ඊට විරුද්ධව හඬ නැගුවා.මම ස්තුතිවන්ත වෙනවා මා පෙන්වා දුන් කරුණු සලකා බලා ජනාධිපතිතුමාත් මුදල්  ඇමතිතුමාත් එම යෝජනාව  සංශෝධනය කිරීමට තීරණය කිරීම සම්බන්ධව.අපේ කාර්යභාරය අරමුණ වන්නේ මේ රජය නිවරදි කර නිවැරදි කරගෙන ඉදිරියට යාමයි.එසේ නැතුව රජයට දෝෂාරෝපණය කරමින් කටයුතු කිරීම නොවේ.අපි යම් විවේචනයක් වෙලත් එය සිදු කරන්නේ ද්වේශයෙන් නොව මේ රටේ පොදු මහ ජනතාවගේ විශේෂයෙන් කම්කරු ජනතාවගේ යහපත පිරිසයි.  හැම විටම අපේ ස්ථාවරය වන්නේ කම්කරු ජනතාවගේ සුබ සිද්ධියයි.ඒ වගේම විදේශ රැකියාවල නියුතු  අය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අපි දැන් සකස් කර තිබෙනවා එය හෙට අනිද්දාම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා.මේ විදිහට අපි ආණ්ඩුව ඇතුළේ ඉඳන් මේ රටේ කම්කරු ජනතාවට පොදු මහජනතාව දැවැන්ත සේවයක් කරන්න කැපවී කටයුතු කරනවා එහෙම නැතුව අපි මේ හෝ ආණ්ඩුව ඇතුළේ ඉඳන් පොල් ගාන්නෙ නැහැ.

පෞද්ගලික අංශය සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමට  මේ වන විට කටයුතු කරගෙන යනවා.එය ඉතාමත් සංකීර්ණ වැඩක්.ඒ සඳහා මුදල් සපයා ගත යුත්තේ කෙසේදැයි දැන්  ලෝක බැංකුව, ලෝක කම්කරු සංවිධානය සමග  මේ වනවිට අපි සාකච්ඡා කරමින්  පවතිනවා.

එසේම ගෘහස්ත කම්කරුවන්ට ද  සේවක අර්ථසාධක අරමුදලේ  දායකත්වය ලබාදීම පිළිබඳව කැබිනට් මණ්ඩලයට සංදේශ ඉදිරිපත් කර තිබෙනවා.එම කාරණය කම්කරු  දෙපාර්තමේන්තු න්‍යාය පත්‍රයේ  ප්‍රමුඛතම කාරණයක් ලෙස ඉහළින්ම  තිබෙනවා.

මේ වතුකරයේ ජනතාව දෙවැනි පැළැන්තියේ ජනතාවක් නොවේ.අපේ ගම්වල ප්‍රජාවට ලැබෙන සියලු පහසුකම් සහ ප්‍රතිලාභ මේ වතුවල ජනතාවට ලැබිය යුතු යන්න අපේ ප්‍රතිපත්තියයි.ශිෂ්ට සමාජයක වගකීම එයයි.

මට මේ වතුකර ජනතාවගේ දුක කඳුළ වේදනාව පිරුණු  ජීවන සංස්කෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන්නේ මමත් බදුල්ලේ  ස්ප්‍රිංවැලි  වතුයායට ආසන්නයේ කඳන ගමේ ඉපදී ජීවත් වී හැදී වැදුණු කෙනෙක් නිසයි.නමුත්   අපේ බොහෝ දෙනෙක්ට වතුකරයේ ජනතාව මතක් වන්නේ ඡන්ද කාලෙට පමණයි.ඡන්ද කාලෙට වතුකරයට නෑදෑයෝ හරියට එනවා.නමුත් මැතිවරණය අවසන් වුණාට පසු ඔවුන් කවුරුත් මේ ජනතාව ගැන සොයා බලන්නේ නැහැ.මම උදේ ඉඳන් රෑ වෙනකන් නව නීතිරීති  හදමින් උත්සහ කරන්නේ මේ වතුකර ජනතාවගේ ජීවන තත්ත්වය වඩා උසස් තැනකට ගෙන එන්නයි.

එහෙම නැතුව මම මේ දේවල් කරන්නේ ඡන්දය බලාගෙන නෙමෙයි.බඩු මළු බෙදලා,පොරොන්දු දීලා  ඡන්දය ගැනීමේ සංස්කෘතියෙන් අපි ඉවත් වෙන්න ඕනේ.

ඒ වගේම අපේ මෙම කම්කරු කාර්යාලය නිලධාරීන් මෙම කම්කරු ජනතාවට ඉතාම හොඳින් කැපවීමෙන් තව සේවය ලබාදී මෙම කාර්යාලයට එන සෑම කෙනෙක්ම සිනහමුසු මුහුණින් මෙම කාර්යාලයෙන් යන තත්ත්වයට  හා තෘප්තිමත් සේවා ස්ථානයක් බවට පත් කිරීමට ඔබ හැමදෙනාම සේවය කළ යුතුයි.

හැටන් කම්කරු කාර්යාල විවෘත කිරීමේ මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිෂ්ණන් මැතිතුමා ,හැටන් නගරාධිපති බාලචන්ද්‍රන් මැතිතුමා  අමාත්‍යාංශය ලේකම් මාපා පතිරණ මහතා,කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ හා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද වතු කම්කරු නායකයෝ ද සහභාගි වූහ.