මාළු දැල් හදන ලංකාවේ ලොකුම රජයේ කර්මාන්ත ශාලාව කොට උඩ

මාළු දැල් හදන ලංකාවේ ලොකුම රජයේ කර්මාන්ත ශාලාව කොට උඩ

වෙන්නප්පුව ලුණුවිල පිහිටි සීමාසහිත නෝත් සී ආයතනයේ සේවකයින් වැටුප් නොගෙවීම ඇතුළු ගැටළු රැසකට විසදුම් ඉල්ලමින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. 

පසුගිය  08 වැනි දින මේ වැඩ වර්ජනය ආරම්භ කල අතර ඊයේ  දිනයේ වර්ජනයට සමගාමිව උද්ගෝෂණයක්ද පැවැත්විණි.

ධීවර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන මේ ආයතනයට අනුබද්ධ ආයතන තුනක් රටේ ඇති අතර මුළු සේවක ගණන 300 කි .

දිවයිනේ ධීවර කර්මාන්තයට අවශ්‍ය‍ය මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන විශාලතම කර්මාන්ත ශාලාව මෙය වන අතර වර්තමානයේ එම සේවකයින් මුහුණ පා ඇති ප්‍රධානම  ගැටළුව වන්නේ නියමිත දිනට වැටුප් නොගෙවීමයි.

මේ ආයතනයේ සේවය කරන සේවක සංඛ්‍යාව 95කි. වැටුප් ගෙවීමට අදාල මුදල් ගිණුම් ගත කර තිබියදීත් තම වැටුප නියමිත දිනට ගෙවීමට මාස ගණනාවක් තිස්සේ පාලන අධිකාරිය කටයුතු නොකිරීමෙන් තම ජීවිතය වලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව සේවකයින් පවසති.

මීට අමතරව  ආයතනයේ තවත් ගැටළු රැසක් පවතින බව සේවකයින් පවසති.

මාස විස්සක් සේවක අර්ථසාධක මුදල් බැර කර නොමැති වීම, ආයතනයේ  යන්ත්‍රෝපකරණ රැසක් ප්‍රයෝජනයට නොගෙන විනාශ වෙමික් පැවතීම සහ ඒ පිළිබඳව කොතරම් දැනුවත් කළත් පාලනාධිකාරිය සවන් නොදීම,  දැල් නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය මසකට කිලෝග්‍රෑම් 12,000 ක් අවශ්‍ය තිබිය දී කිලෝග්‍රෑම් 6000 ක් පමණ ලබාදීම, අමාත්‍යතුමා සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පවතින අර්බුදකාරී තත්වය සළකා සේවකයින්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා නොදී අධ්‍යක්ෂක මණ්ඩලය රැස් වන එක් දිනකදී රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කිරීමට කටයුතු කිරීම, සේවකයින්ට බලපාන තවත් ගැටලු  අතර වන බව ඔවුන් පවසති.

පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පසුගිය වසර දෙක පුරාම විෂයභාර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරිය සහ සභාපතිතුමා හමුවී සාකච්ඡා කළද මේ වනතුරුත් පාලනාධිකාරිය ඊට විසදුම් ලබා දීමට අපොහොසත් වී ඇති බව ද ඔවුන් චෝදනා කරති.

ඉදිරියේ දී නියමිත දිනට වැටුප් ලබා නොදීමට කටයුතු කළහොත් සහ පවතින ගැටළුවලට විසඳුම් ලබා නොදුනහොත් අඛණ්ඩව  වැඩවර්ජනයක නිරතවන බව සේවකයන් පවසති.

(සටහන - ප්‍රසාද් පුර්ණමාල් )