බස් රථයේ ඩිකියේ ගිය පාසල් සිසුන් පදනම් කරගෙන කොන්දොස්තරට දඬුවම් නොකරන ලෙස ඉල්ලීමක්

බස් රථයේ ඩිකියේ ගිය පාසල් සිසුන් පදනම් කරගෙන කොන්දොස්තරට දඬුවම් නොකරන ලෙස ඉල්ලීමක්

අධික ලෙස බස් රථයේ මගීන් සිටිය නිසා පාසල් සිසුන්ට එම ක්‍රියාව සිදුකිරීමට සිදුවී ඇති අතර, මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංගම බස්රථ වැඩිපුර යෙදවීම ශ්‍රී ලංගමයේ වගකීමක් වන අතර, ශ්‍රී ලංගමයට අවශ්‍ය බස්රථ ලබාගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත්, බස් රථයේ ඩිකියේ හොරෙන් ගමන් කළ පාසල් සිසුන් පදනම් කරගෙන අදාල බස්රථයේ කොන්දොස්තර මහතාට කිසිදු දඬුවමක් ලබානොදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

2022 මාර්තු 07 වන දින මොණරාගල පහතරාව අතර ගමන් කළ ශ්‍රී ලංගම බස්රථයක ඩිකියේ පාසල් සිසුන් කිහිප දෙනෙක් හොරෙන් ගමන් කර ඇත. අදාල බස්රථයේ කොන්දොස්තර මහතාට බසයේ පිටුපසින් ශබ්දයක් ඇසීම නිසා බසය නවතා ඔහු එම බස්රථයේ ඩිකිය පරීක්‍ෂා කර ඇත. එවිට පාසල් සිසුන් ඩිකියේ ගමන් කරන බව ඔහු දැක ඔවුන් ඩිකියෙන් බස්වා බස් රථයේ ඇතුලට නංවාගෙන ඇත.

එම සිසුන් ගමන් කළ අදාල පාසල් බස් රථය අතරමඟ ආපදාවකට ලක්වූ නිසා එම සිසුන් මෙම රථයට නංවාගෙන ඇත. එම මොහොතේ පවා මොණරාගල පහතරාව බස් රථයේ අධික මගීන් ප්‍රමාණයක් ගමන් කරමින් සිටින ලදී. බස් රථයේ මගී ප්‍රමාණය අධික වූ නිසා පාසල් සිසුන් හට බස් රථයේ ඩිකියේ ගමන් කිරීමට සිදුවී ඇත. මෙම සිද්ධිය පදනම් කරගෙන මොණරාගල පහතරාව බස් රථයේ කොන්දොස්තර මහතා දැනට පොරොත්තු සේවයේ යොදවා ඇති බවට අප සංගමයට තොරතුරු ලැබී ඇත.

අධික ලෙස බස්රථයේ මගීන් සිටිය නිසා පාසල් සිසුන්ට එම ක්‍රියාව සිදුකිරීමට සිදුවී ඇති අතර, මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංගම බස්රථ වැඩිපුර යෙදවීම ශ්‍රී ලංගමයේ සහ ඔබතුමාගේ වගකීම වේ. ඒ අනුව ශ්‍රී ලංගමයට අවශ්‍ය බස්රථ ලබාගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත්, අදාළ කොන්දොස්තර මහතා පොරොත්තු සේවයෙන් ඉවත්කර ඔහුගේ සුපුරුදු සේවය ඔහුට ලබාදෙන ලෙසත් අප සංගමයට ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.