කල්පිටිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට තර්ජන  

කල්පිටිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට තර්ජන  

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන මහේෂ් රංගන මහතා කල්පිටියේ පැවති අධිබලැති යතුරුපැදි සවාරිය සම්බන්ධයෙන් මුහුණු පොතේ ඵලකරන ලද වීඩියෝවක් මුල්කරගෙන මා වෙත දුරකථන, වට්ස්ඇප්, මැසෙන්ජර් සහ මුහුණු පොත හරහා විවිධ තර්ජන හා ගර්ජන එල්ලවී ඇති අතර, ඒ පිළිබඳව අවධානය යොමකළ මහේෂ් ජයරත්න මහතා විසින් ඉදිරි පියවරක් ලෙස කල්පිටිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා පොලිස් මූලස්ථානය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.  සැලකිල්ලට ගෙන උක්ත පෙලපාලිය සම්බන්ධයෙන් වැඩිදුර සොයාබැලීමට මාතුළ ඇතිවූ පෙළඹවීම මත තොරතුරු ලබාගැනීමේ ඉල්ලීමක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමු  කර ඇත.

එම ඉල්ලීමට අදාල ලිපිය පහතින් දැක්වේ.

මුහුණුපොතේ පලකල වීඩියෝව :

https://www.facebook.com/MaheshR.lk/posts/1289383328252234

මේ සම්බන්ධයෙන් සටහනක් : https://www.facebook.com/MaheshR.lk/posts/1290123534844880

2022-03-19

තොරතුරු නිළධාරී,

පොලිස් මූලස්ථානය

කොළඹ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රකාරව කරනු ලබන ඉල්ලීමයි.

ඉන්ධන හිඟයෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටියදී මේ ආකාරයට දැවැන්ත රථ පෙළපාලි පැවැත්වීම මහත් ආන්දෝලනයට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබිණි.මෙම රථ සවාරියේ මුල් අදියර මීරිගම සිට කල්පිටිය දක්වා පෙරේදා (17 දා) සංචාරය කර තිබිණි. එහිදී ස්ථාන රැසක දී මෙම රථ පෙලපාලියට මහජනතාවගේ දැඩි විරෝධයක් එල්ලවීම සැලකිල්ලට ගෙන 18 (ඊයේ)  එම රැලියට නැවැත්වීමට තීරණය කළබව පොලිස් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මාධ්‍යයට පැවසූබව දිවයින පුවත්පතේ වෙබ් පිටුවේ දක්වා ඇත.

එම පුවත් වාර්තාවේ දැක්වෙන පරිදී මෙම රථ පෙලපාලිය ශ්‍රී ලංකා පොලිසියේ අනුදැනුම සහ නියෝග වලට යටත්ව පවත්වන ලද්දක් බව ප්‍රකාශ වන අතර සමාජ මාධ්‍ය වල ඵලවන  වීඩියෝ වලට අනුව ඒ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී තිබුනි. එබැවින් ඊට අදාලව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රකාරව පහත තොරතුරු මාවෙත කඩිනමින් ලබාදෙන මෙන් කාරුණිවක ඉල්ලමි.

01. උක්ත මෝටර් රථ පෙලපාලිය සඳහා කොන්දේසි සහිතව හෝ රහිතව ශ්‍රී ලංකා පොලිසිය විසින් අවසර ලබාදී ඇත් ද? ලබාදී ඇතිනම්,

(අ) අවසර ඉල්ලා ඇත්තේ කවුද? ඉල්ලීම් ලිපියේ පිටපතක් ලබාදෙන්න.

(අ) අවසර ලබාදී ඇත්තේ කවර නීතිමය පදනමක් යටතේද? කොන්දේසි යටතේද? අවසර ලබාදුන් ලිපියේ පිටපතක් ලබාදෙන්න.

02. අපගේ දැනුමට අනුව ශ්‍රී ලංකාවේ යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදී ඇත්තේ 450cc ධාරිතාවට අඩු යතුරු පැදි පමණි. එම සීමාව ඉක්මවූ අධිබලැති යතුරුපැදි සඳහා කොන්දේසි සහිතව ලියාපදිංචිය ලබාදෙනු ලබයි.ඒ අනුව,

(අ) 1000 cc හෝ ඊට වැඩි ධාරිතාවක් ඇති අධිබලැති යතුරුපැදි මහාමාර්ග වල ධාවනය කිරීමට ශ්‍රීලංකා පොලිසිය අවසර ලබාදෙන්නේද?

(ආ) මහාමාර්ග වල ධාවනයට අවසර නොමැති අධිබලැති යතුරුපැදි ධාවනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය අනුමැතිය ලබාදී ඇත්තේ කුමන කොන්දේසි වලට යටත්වද?

(ආ) උක්ත රථ පෙලපාලියේ දී අවසර නොමැති සහ ලියාපදිංචි නොකළ අධිවේගී යතුරුපැදි  ධාවනය කර ඇතිබවට ශ්‍රී ලංකා පොලිසියට තොරතුරු වාර්තාවී ඇත්ද? මෙම රැළියට එක්වූ අධිබල යතුරු පැදි සංඛ්‍යාව කීයද? අංක රහිත යතුරු පැදි සංඛ්‍යාව කීයද? ව්‍යාජ අංක සහිත යතුරුපැදි සංඛ්‍යාව කීයද?

(ඇ) උක්ත අංක රහිත, ව්‍යාජ අංක සහිත යතුරු පැදි ධාවනය කළ පුද්ගලයන්ට එරෙහිව රථවාහන නීති උල්ලංඝණය කිරීමට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේද?

03. මහජන පීඩාවක් ඇතිවන පරිදී, අවසර පත්‍රයේ කොන්දේසි කඩකරමින් ධාවනයවූ උක්ත රථ පෙළපාලියට පොලිස් ආරක්ෂාව ලබාදුන්නේ කවර පදනමක් යටතේද? කවර ඉල්ලීමකට හෝ නියෝගයකට අනුවද?

(අ) මීරිගම සිට කල්පිටිය දක්වා ගමන්ගත් උක්ත රථ පෙලපාලියේ ආරක්ෂාව සඳහා කොපමණ පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් සේවයේ යොදවා තිබුනේද?

(ආ) මීරිගම සිට කල්පිටිය දක්වා ගමන්ගත් උක්ත රථ පෙලපාලියේ ආරක්ෂාව සඳහා කොපමණ පොලිස් රථ සහ යතුරුපැදි සංඛ්‍යාවක් සේවයේ යොදවා තිබුනේද?

(ඇ) ඉහත 03(අ) සහ 03(ආ) කාරණා සඳහා ශ්‍රී ලංකා පොලිසියට කොපමණ වැයබරක් සිදුවී ඇත්ද? එම මුදල ප්‍රතිපූර්ණය කරගන්නේ කෙසේද?

(ඉ) මෙම පෙලපාලියේ සංවිධායකයින් විසින් ආරක්ෂාව සැලසීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත යම් ගාස්තුවක් හෝ වෙනත් යම් ගෙවිමක් සිදුකර ඇත්ද? එසේ ගෙවා ඇත්නම් එකී ගෙවීමේ වටිනාකම කීයද? ගෙවීම සිදුකර ඇත්තේ කවදාද?

මහේෂ් රංගන ජයරත්න