පොලීසියේ දූෂණ හෙළි කළ මාධ්‍යෙව්දීයාට මරණ තර්ජන පිලිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා වහා මැදිහත් විය යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

fmm-srilanka

ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ දූෂණ හෙළිදරව් කරමින් ලිපියක් ලියූ “සති අග අරුණ” සහ “දිනපතා අරුණ” පුවත්පත්වල ප්‍රවෘත්ති කර්තෘ මාධ්‍යවේදී චමින්ද සේනාරත්නට දුරකතනය ඔස්සේ මරණ තර්ජන එල්ල කිරීම කිසිසේත් නොසළකා හැරිය නොහැකි බරපතල තත්ත්වයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

“හිටිහැටියේ පොහොසත්වන පොලිස් ඇත්තෝ” යන හිසින් 2022 මාර්තු 15 වන දින අරුණ පුවත්පතට ලිපියක් ලිවීමෙන් අනතුරුව, තමන්ට මරණ තර්ජන එල්ල වූ බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසූ මාධ්‍යවේදී චමින්ද සේනාරත්න සිදුවීම සම්බන්ධව පොලීසියටද පැමිණිළි කර ඇත.  CIB 3 272/143 දරන එම පැමිණිල්ලට අමතරව සිය ආරක්ෂාව තහවුරු කරන මෙන් ඉල්ලා පොලිස්පතිතුමාට ලිපියක් ද යැවූ බව මාධ්‍යවේදී චමින්ද සේනාරත්න පවසයි.

මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළ විමර්ශනවලදී හෙළි වූයේ මාධ්‍යවේදී චමින්ද සේනාරත්නට තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇත්තේ 0712293495 දේශීය දුරකතන අංකයෙන් සහ ඉන්දියාවේ ලියාපදිංචි +916282807305 අංකයෙන් වට්ස්ඇප් ඔස්සේ බවයි. එහිදී එක්තරා ඉහළ පොලිස් නිලධාරියෙක් සම්බන්ධ හෙළිදරව් කිරීමක් නිසා සති තුනක් ඇතුළත මාධ්‍යවේදී චමින්ද මරා දමන බවට අනියමින් තර්ජනය කර ඇත.

ශ්‍රී ලංකා පොලීසියට සැබෑ වුවමනාවක් තිබේ නම් දුරකතන දත්ත පරීක්ෂාවකින් මාධ්‍යවේදී චමින්ද සේනාරත්නට තර්ජනය කළ පාර්ශවය හඳුනාගත හැක. එය පොලීසියේ අවංක බව සහ වගවීම පිරික්සීමේ අවස්ථාවක් වනු ඇති බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

එබැවින් නිසි සාක්ෂි සහිත මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන මෙන්ද මාධ්‍යවේදී චමින්ද සේනාරත්නගේ ආරක්ෂාව තහවුරු කරන මෙන්ද පොලිස්පතිතුමාට දැනුම් දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකා පොලීසිය වැනි මහජන ආයතන හෙළා දැකිය යුතු තරමේ ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබීම කනගාටුදායක බවද පෙන්වා දෙයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපිය

පොලිස්පතිතුමා,

පොලිස් මූලස්ථානය,

කොළඹ.

2022.03.23

මහත්මයාණෙනි,

මාධ්‍යවේදී චමින්ද සේනාරත්න මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධ පැමිණිල්ලට අදාල පරීක්ෂණවල ප්‍රගතිය විමසීම.

දිනපතා “අරුණ” සහ “සතිඅග අරුණ” පුවත්පත්වල ප්‍රවෘත්ති කර්තෘ චමින්ද සේනාරත්න මහතා වෙත එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් 2022.03.18 දිනැතිව ඔබ වෙත ලිපියක් යොමු කර ඇත. එසේම මේ සම්බන්ධව අංක  CIB 3 272/143 දරන පැමිණිල්ල පොලීසිය හමුවේ ගොනු කර ඇති බවද අප වෙත වාර්තා වී ඇත.

මාධ්‍යවේදී චමින්ද සේනාරත්න පවසන්නේ, පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ වංචා දූෂණ හෙළිදරව් කිරීම නිසා උරණ වූ කිසියම් පාර්ශවයක් තමන්ට ජිවිත තර්ජන එල්ල කළ බවයි. මහජන මුදලින් නඩත්තු වන මහජන සේවය පිණිස පවතින ආයතනයක සේවකයන්ගේ අක්‍රමිකතා හෝ දූෂණ හෙළිදරව් කරන මාධ්‍යවේදීන් මෙසේ තර්ජනයට ලක් වීම ඉතා භයානකය. වංචා දූෂණ මර්ධනය කිරීමද එක් වගකීමක් ලෙස පැවරුණු පොලීසියේ හැසිරීම මෙයාකාර නම් එය අතිශය ලැජ්ජා සහගතය.

0712293495 දේශීය දුරකතන අංකය ඔස්සේ සහ ඉන්දියාවේ ලියාපදිංචි +916282807305 අංකයෙන් වට්ස්ඇප් ඔස්සේ තමන්ට මෙම තර්ජනාත්මක ඇමතුම් ලැබුණු බව මාධ්‍යවේදී චමින්ද සේනාරත්න ඔබ වෙත දැනුම් දී ඇත. දත්ත පරීක්ෂාවකින් මේ ඇමතුම් පිටුපස සිටින පාර්ශව හෙළිදරව් කර ගැනීම අපහසු නැත.

මෙය පොලිස්පතිවරයා වන ඔබටද ස්වකීය වගවීම පරීක්ෂා කිරීමට අවස්ථාවකි. එබැවින් කඩිනමින් පරීක්ෂණ සිදු කර මාධ්‍යවේදී චමින්ද සේනාරත්නගේ ආරක්ෂාව තහවුරු කරන මෙන්ද දැනට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අප දැනුවත් කරන මෙන්ද දැඩි වුවමනාවෙන් ඉල්ලා සිටිමු.