ඇමරිකාවේ හවුල්කරුවකු ලෙස දිගු කාලීන සබඳතා ශක්තිමත් කරනවා - මහාචාර්ය ජී. ඇල්. පීරිස්

ඇමරිකාවේ හවුල්කරුවකු ලෙස දිගු කාලීන සබඳතා ශක්තිමත් කරනවා - මහාචාර්ය ජී. ඇල්. පීරිස්

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය පිළිගනිමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. ඇල්. පීරිස්  මහතා, ශ්‍රී ලංකාව එක්සත් ජනපදය වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන අතර දිගුකාලීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා බයිඩ්න් මහතාගේ පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය 2022 මාර්තු 22 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූවාය. මෙම සංචාරයේදී උප ලේකම් නුලන්ඩ් මැතිනිය විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූවාය. උප ලේකම්වරිය උණුසුම් අයුරින් පිළිගත් අමාත්‍ය පීරිස්  මහතා, ශ්‍රී ලංකාව එක්සත් ජනපදය වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන අතර දිගුකාලීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා බයිඩ්න් මහතාගේ පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව වසංගතයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින බැවින් ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම වැදගත් බව ප්‍රකාශ කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ආයෝජන ඉහළ නැංවීම දිරිමත් කළේය.  මාර්තු 22 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා වූ ප්‍රතිසංස්කරණ ඇතුළුව, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය ද එතුමා පෙන්වා දුන්නේය. වසර හැත්තෑවකට වැඩි කාලයක් පුරා පැවති ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා, දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා බහුවිධ හවුල්කාරිත්වයක් දක්වා තවදුරටත් තහවුරු කර ගැනීමට දෙපාර්ශ්වයම තීරණය කළහ. එක්සත් ජනපදයේ අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා එක්සත් ජනපදය උනන්දු වන බව උප ලේකම් නුලන්ඩ් මහත්මිය අවධාරණය කළාය.

ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරයේ දී, නියෝජිත කණ්ඩායම් දෙකම වෙළඳපල ප්‍රවේශය, ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා වූ ඔවුන්ගේ අභිප්‍රාය යළි අවධාරණය කළහ. දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීමට ද කැප වූ ඔවුහු, සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළහ. සංවර්ධනය සහ සෞභාග්‍යය සඳහා ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජනපදය සිය ප්‍රසාදය පළ කළේය. දූත කණ්ඩායම් දෙකම දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහ ආරක්ෂක අංශයේ සහයෝගිතාව පිළිගත් අතර, එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ත්‍රස්ත විරෝධී සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමට තීරණය කළේය. දෙරට අතර අධ්‍යාපනය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් පවතින සහයෝගිතාව සඳහා ද නියෝජිත කණ්ඩායම් දෙකම දැඩි සහයෝගය පළ කළහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූ මෙහි පැමිණි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය, කොළඹ වරායේ සංචාරයක යෙදී, සිවිල් සමාජ නායකයින් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් ද හමුවූවාය.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා, විදේශ කටයුතු, ආරක්ෂක, මහජන ආරක්ෂාව, අධිකරණ, සෞඛ්‍ය, කෘෂිකර්ම, තාක්ෂණ, පරිසර, අධ්‍යාපන අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වාණිජ, ආයෝජන මණ්ඩලය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය මෙම හවුල්කාරීත්ව සංවාදය සඳහා සහභාගී විය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය, ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි මහත්මිය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උප ලේකම් නුලන්ඩ් මහත්මිය සමඟ එක්විය.