පුහුණුව ලබන වෛද්‍යවරුන්ට අමතර රාජකාරි දමනා ගෙවා නෑ

පුහුණුව ලබන වෛද්‍යවරුන්ට අමතර රාජකාරි දමනා ගෙවා නෑ

පශ්චාත් උපාධි පුහුණුව ලබන වෛද්‍ය නිළධාරීන්ගේ සහ රෝහල් වලට තාවකාලික පදනමින් අනුයුක්ත කර ඇති වෛද්‍ය නිළධාරීන්ගේ අමතර රාජකාරී දීමනා වහාම ගෙවීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ,

  • සෑම දිනකම පැය 24 පුරා අඛණ්ඩ සක්‍රීය සේවාවක් සපයන වෛද්‍ය සේවය තුල ගෙවන වැටුප සහ වැයකරන කාලයට සරිලන ගෙවීම පවා නොලැබෙන බව අප අවස්ථා ගනනාවකදී අතිගරු ජනාධිපතිතුමන්, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමන්, මෙන්ම ඔබතුමන් ඇතුළුව වගකිව යුතු සියළුම සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිතව පැහැදිලි කර ඇත්තෙමු,
  • තත්ත්වය එසේ තිබියදී, පශ්චාත් උපාධි පුහුණුව ලබන වෛද්‍ය නිළධාරීන්ගේ සහ රෝහල් වලට තාවකාලික පදනමින් අනුයුක්ත කර ඇති වෛද්‍ය නිළධාරීන්ගේ 2022 මාර්තු මාසයට අයත් අමතර රාජකාරී දීමනාව ලබාදී නොමැති බව රෝහල් ගනනාවකින් අප වෙත තොරතුරු වාර්තා වී තිබේ,
  • මේ දිනවල පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන සපයා ගැනීමේ සිට පැය 24 සේවා කාලයන් තුල ආහාර සපයා ගැනීම ඇතුළු සියළුම අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් විශාල වියදමක් දැරිය යුතු වාතාවරණයක මෙම “ඉටුකර ඇති සේවාවන් වෙනුවෙන් සිදුකරන ගෙවීම්” නොගෙවා සිටීම වෛද්‍යවරුන් කෙරෙහි සිදුකරන ලද බරපතල නෙසළකා හැරීමක් ලෙස සළකමු,
  • මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්ව අදාල නිළධාරීන්ට මෙම මාසයට අදාල ගෙවීම ඉදිරි සතිය තුල ගෙවීමට කටයුතු කරන මෙන් ඉල්ලමු. එසේ නොවන්නේ නම් සියළුම වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා කපා හැරීමේ සූදානමක් ලෙස සළකා කටයුතු කිරීමට සිදුවන බව කණගාටුවෙන් දැනුම් දෙමු.