වතු සේවකයන්ට අසාධාරණව සැලකීම වලක්වන්න නව නීති ගේනවා

වතු සේවකයන්ට අසාධාරණව සැලකීම වලක්වන්න නව නීති ගේනවා

මෑත කාලයක සිට වතු සමාගම් පාලකයන්  වතු කම්කරු ජනතාවට විවිධ අසාධාරණකම් හා පීඩාවන්  සිදුකරන බවට පැමිණිලි  විශාල ප්‍රමාණයක් ලැබී ඇත.එම නිසා වතු කම්කරු ජනතාවට සාධාරණව කම්කරු නීති රීතිවලට අනුකූලව   යහපත් සේවා තත්ත්වයක් උදාකරදීමට   වතු කම්කරුවන්ගේ යහපත උදෙසා නව නීතිරීති පැනවීමට සිදුවන බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වතුකම්කරුවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ ලැබී ඇති පැමිණිලි පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් හා වෘත්තීය සමිති නායකයන් සමඟ පැවැති සමඟ පැවති සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාව පසුගියදා (29) කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

මෙහි දී වතු කම්කරුවන් වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා පෙන්වා දුන්නේ, දෛනික නෙලන දලු ප්‍රමාණය වැඩි කිරීම, දළු කිරීමේ දී සිදුවන අකටයුතුකම්, සේවා තත්ත්වයන්ට පනවා ඇති නව නිර්මිතයන් නිසා සිදු වන පීඩාවන්, සිදුකරන විවිධ පලිගැනීම්,සිදුකර ඇති සේවා වරප්‍රසාද කප්පාදුන්  ආදිය පිළිබඳවය.

මෙහිදී අදහස් දැක් වූ වතු සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ, සමහර තැන් වල එවැනි කම්කරු නීතීන් උල්ලංඝනය වීම් සිදු වනු ඇති බවට තමන් ද පිළිගන්නා බවත් ඒ පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණ පවත්වා විට අදඊට අදාළ පියවර ගැනීමට තමන් කිසිසේත්ම විරුද්ධ නොවන බවය.නමුත් මේ වන විට සෑම වත්තකම රුපියල් දහසේ වැටුප ගෙවන බවත්, අවුරුදු අත්තිකාරම් රුපියල් දසදහස  බැගින් ගෙවා ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එසේම ඉන්ධන මිල ඉහළ යාම, විදුලිබල අර්බුදය,ලෝක වෙළඳපළේ  තේ මිල පහළ බැසීම කටයුතු නිසා මේ වන විටත් ඒ ආර්ථිකය පවත්වා ගෙන යන්නේ  ඉතාමත්ම අපහසුවෙන් බව ද ඔවුහු පෙන්වා දුන්හ. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විදුලිබල හා ඉන්ධන අර්බුද ඇති වූයේ මෑතකදී බවත් නමුත් මෙම වතුකම්කරුවන්ට හිරිහැර කිරීම රුපියල් දහසේ  වැටුප තීන්දු කළ දවසේ සිට සිදුවන බවට තමන්ට දිගින් දිගටම පැමිණිල්ල ලැබී ඇති බවය.

එම නිසා මෙහි දී අමාත්‍යවරයා වෘත්තීය සමිතියෙ නියෝජිතයන්ට පෙන්වා දුන්නේ  සිදු වූ එවැනි අකටයුතුකම් පිළිබඳව පුද්ගලයාගෙන් පුද්ගලයාට තොරතුරු වෙන වෙනම ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව  රුපියල් දහසේ දෛනික වැටුප නියමිත පරිදි ලබා නොදීම,වැඩ කළ දින ගණනට නියමිත පරිදි වැටුප් නොගෙවීම හා අසාධාරණ ලෙස වැටුප් කප්පාදු කිරීම,හෝ සිදු වූ යම්කිසි අසාධාරණය පිළිබඳව පැමිණිලි මාසයක් ඇතුළත කම්කරු  දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය.



වැඩබිම තවත් පුවත් කියවන්න...



එසේම වතු වෘත්තීය සමිති වෙනුවෙන් සේවකයන්ගේ සාමාජික මුදල් වැටුපෙන් අයකර  එම වෘත්තිය සමිති ගිණුම්වලට බැර කිරීම මේ වන විට වතු සමාගම් පැහැර හැර ඇති හෙයිනි එම සාමාජික මුදල් වෘත්තීය සමි වලට බැර කිරීම තහවුරු කෙරෙන  නව නීතියක් පනවන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

ඊට අමතරව වතු කම්කරුවන්ගේ සුභසාධනය සහ ඔවුන්ගේ සේවා  සුරක්ෂිතතාවය සඳහා සුවිශේෂි නව පනතක් ගෙන ඒමට ද තමන් ඉදිරියේ දී කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව බොහෝ යෝජනා තමන්ට ලැබී ඇතැයි ද අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

වතු හාම්පුතුන් සේවකයන්ට නිසි පරිදි නොසැලකීම නිසා මේ වන විට වතු කම්කරු කාන්තාවන් අසූ හත් දහසක් (87,000) පමණ  විදේශ රටවල රැකියා සඳහා ගොස් ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අපේ රටේ තේ ආර්ථිකය අ රැක ගත යුතු බව ද එම නිසා වතු කම්කරුවන්ගේ ද   තේ වතු  කර්මාන්තයේ ද පොදු සුභසාධනය සඳහා අවශ්‍ය පියවර ඉදිරියේ දී  ගත යුතුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට වැවිලි සමාගම් ප්‍රධානින්, වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද සහභාගි වූහ.