මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරකිනු

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරකිනු

මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී ජනසමාජයක ප්‍රධානතම අංගයක් වන අතර , ඒ අනුව මාධ්‍යවේදීන්ට තම රාජකාරි කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති අනුලංඝනීය අයිතියට  බාධා කිරීම අතිශයින්ම  ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව අවධාරණය කල යුතු බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එහෙත් පසුගිය දා මිරිහාන ප්‍රදේශයේ  ඇති වූ උද්ඝෝෂණයේදී එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට,  නීති හා සාමය ආරක්ෂා කිරීමට රාජකාරිමය වශයෙන් බැඳී සිටින පොලිස් හා ඊට අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන් පිරිසක්, තමන්ගෙ රාජකාරි සීමා ඉක්මවා යමින්, සිදුකල අමානුෂික පහරදීම අප දැඩි ලෙස හෙලා දකිමු .

විශේෂයෙන් ජනමාධ්‍ය හැඳුනුම්පත  ප්‍රදර්ශනය කරමින් තමන් මාධ්‍යවේදියෙකු බව ප්‍රකාශ කර සිටියදී එම මාධ්‍යවේදීන්ට පහර දීම තුළ සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්ද යන්න අප ප්‍රශ්න කර සිටිමු .

එසේම මෙහිදී එක් මාධ්‍යවේදියෙකුට, පොලිස් නිලධාරීන් විසින් පහරදී  ඇත්තේ, ඔහු එම සිදුවීම් ජංගම දුරකතනයක් හරහා  පටිගත කරමින් සිටි බවට චෝදනා නගමිනි .

මෙම කරුණ හරහා පැහැදිලිවන්නේ, නූතන ලෝකයේ ජනමාධ්‍ය ප්‍රවණතා පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව සතු දැනුම ඉතා අල්ප බවයි .

නූතන ලෝකයේ දියුණු රටවල පවා මේ වනවිට, ජනමාධ්‍යවේදියාගේ ප්‍රධාන උපකරණය බවට පත්ව ඇත්තේ ජංගම දුරකථනයයි. MOJO යනුවෙන් ලෝකයේ  ප්‍රචලිතව ඇත්තේ මෙම ජංගම දුරකථන ජනමාධ්‍යවේදයයි.

එම නිසා මාධ්‍යවේදියෙකු  ජංගම දුරකථනයකින් යම් සිද්ධියක් වාර්තා කිරීම, කිසිසේත්ම නීති විරෝධී ක්‍රියාවක් නොවන බව අප සංගමයේ මතය වේ  .

මෙම සිදුවීම් මාලාවෙන් දැඩි ලෙස කම්පනයට හා කනගාටුවට පත්ව සිටින අප සංගමය පහත සඳහන් යෝජනා හා කරුණු  , රජයට මෙන්ම අදාළ වගකිවයුතු ආයතන වෙත අවධාරණය කර සිටින්නෙමු.

  1. මිරිහාන ප්‍රදේශයෙදී මාධ්‍යවේදීන්ට සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කර වරදකරුවන්ට නීතිය මගින් දඩුවම් පැමිණවිය යුතුය.
  2. මෙම පහරදීම නිසා තුවාල ලැබූ, දේපල හානිවූ සියලු මාධ්‍යවේදීන්ට නිසි ලෙස වන්දි , හා හනිපූරණයන් ලබාදීමට කටයුතු කල යුතුය.
  3. උද්ඝෝෂණ , විරෝධතා හා ගැටුම්කාරී අවස්ථා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සකස් කරන ලද මාධ්‍යවේදී හැඳුනුම් කබා (press jacket) ලබාදිය යුතුය . ඒ හරහා ඕනෑම කලබලකාරී හා ගැටුම්කාරී  අවස්තාවක, මාධ්‍යවේදීන් කවුදැයි හඳුනාගැනීමට , ආරක්ෂක අංශ නිලධාරීන්  ඇතුළු ඕනෑම අයෙකුට  හැකියාව ලැබෙනු ඇත. මෙම කටයුත්ත ජනමාධ්‍ය අමාත්‍යංශය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මූලිකත්වයෙන් සිදුකල යුතු අතර එම  ජනමාධ්‍ය කබා,  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින්  ජනමාධ්‍ය  හැඳුනුම්පත් නිකුත් කොට ඇති ජනමාධ්‍යවේදීන්ට පමණක් ලබාදීමට කටයුතු කල යුතුය.
  4. ජනමාධ්‍යයේ නව ප්‍රවණතා පිළිබඳව පොලිසිය, යුධ හමුදාව ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් දැනුවත් කල යුතු අතර ජනමාධ්‍ය සාක්ෂරතාව පිලිබඳ පුහුණු වැඩමුළුවක් ඔවුන් වෙනුවෙන් පැවැත්විය යුතුය .