භාෂණයේ නිදහසට වැට බැඳීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි - ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාමාර්ග හෙළා දකිමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

fmm-sri-lanka

ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව, රට තුළ භාවිත සියලු සමාජ මාධ්‍ය අවහිර කරන මෙන් සේවා සපයන්නන්ට දැනුම් දුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද (අප්‍රේල් 03) නිවේදනය කර ඇත. ඊට පෙර ජනාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර රට පුරා ඇඳිරිනීතිය පනවා ඇත.

ශ්‍රී ලංකාව  ඉතිහාසයේ ඉතාම අඳුරු කාලපරිච්ඡේදයක් ගත කරමින් සිටියදී ඊට විසඳුම් සෙවීමට ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් පීඩාවට පත් වූ මහජනතාවගේ හඬ යටපත් කිරීම සඳහා ගෙන ඇති මෙම සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග තරයේ හෙළාදකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම පියවර වහා පසුපසට ගන්නා ලෙස ජනාධිපතිවරා ඇතුළු රජයට බල කර කියා සිටී.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසද, සාමකාමීව රැස් වීමේ හා සමාගමයේ නිදහසද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇති අතර සාමකාමී ලෙස උද්ඝෝෂණවල යෙදීමේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහසෙහිම අංගයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ගණනාවක් මගින් පුළුල් ලෙස අර්ථකථනය කරනු ලැබ තිබේ. පවතින රජය හා රාජ්‍ය නායකයා විවේචනයට ලක් කිරීමද එම අයිතියට ඇතුළත් බව පිළිගෙන තිබේ. ආණ්ඩුව ගෙන ඇති ඉහත ක්‍රියාමාර්ග ඒ සියලු අයිතිවාසිකම් අත්තනෝමතික ලෙස උල්ලංඝනය කිරීමකි.

සමාජ මාධ්‍ය මේ වන විට ජනජීවිතය සමග බද්ධ වූ අවියෝජනීය අංගයක් බවට පත්ව ඇති අතර ඉහත අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා අත්‍යාවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. මෑතක සිට එය වෘත්තීය මාධ්‍යකරණය සඳහා වූ පුළුල් වේදිකාවක් ලෙස භාවිත කෙරෙන අතර, ෆේස්බුක් පිටු හා යූ ටියුබ් නාලිකා ඔස්සේ වෘත්තීය මාධ්‍යකරණයේ නිරත වන මාධ්‍ය ප්‍රජාවක් ගොඩනැගී තිබේ. ආණ්ඩුවේ මෙම අත්තනෝමතික පියවර ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සේම ඉහත මාධ්‍ය ප්‍රජාවගේ වෘත්තීය අයිතියද පැහැර ගැනීමකි.

එමෙන්ම සමාජ මාධ්‍ය, මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මෙවලමක් ලෙසද සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. අප්‍රේල් පළමුවැනිදා රාත්‍රියේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර පොලිසියෙන් බව හඳුන්වා දුන් පිරිසකගේ පැහැරගැනීමට ලක් වූ අතර, ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ දැනුවත්වීම හරහා  සිවිල් ක්‍රියාධරයන් සහ නීතීඥ ප්‍රජාව ක්ෂණිකව මැදිහත් නොවුණේ නම් ඔහු ඉතා භයානක ඉරණමක ගොදුරක් බවට පත් වීමේ අවදානමක් තිබිණි. එමෙන්ම මාර්තු 31වැනිදා ජනාධිපතිවරයාගේ නිවස අසල පැවති උද්ඝෝෂණය ආශ්‍රිතව සිදුවූ ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩුව ගොඩනැගීමට වෑයම් කළ අර්ථකථනය අභියෝගයට ලක් වූයේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඊට සම්බන්ධ වීඩියෝ දර්ශන හා ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ හේතුවෙනි. පොලිසිය අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයන් වෙනුවෙන් ඉතිහාසයේ නොවූ විරූ තරම් නීතිඥ සහායක් ගොඩනැගීමටද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය හේතු විය. ආණ්ඩුව සමාජ මාධ්‍ය අවහිර කිරීමේ නිර්ලජ්ජිත පියවරට යොමු වූයේ මේ සියලු කරුණු හේතුවෙන් බව අපගේ නිරීක්ෂණයයි.

ප්‍රජාතන්ත්‍රවාදීව සහ මහජන ඡන්දයෙන් බලයට පත් වූ ආණ්ඩුවක් මෙලෙස හැසිරීම දිනා ගත් ජනවරමට හා ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපෑමකි. මෙලෙස පුරවැසියා පීඩාවට පත්කෙරෙන හිංසනයේ මාර්ග කෙරෙහි විශ්වාසය තබන ආණ්ඩුවකින් මානුෂවාදී පිළිතුරු අපේක්ෂා කිරීම දුෂ්කරය. එම නිසා මේ දුෂ්කර අවස්ථාවේ සියලු පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සහ මූලික අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් සුරක්ෂා කිරීමට පෞද්ගලිකවත් සාමූහිකවත් ක්‍රියාත්මක වන ලෙසද මනුෂ්‍යත්වයේ නාමයෙන් එකිනෙකාට පිහිට වීමට පෙළ ගැසෙන ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදයට ළැදි සියලු දෙනාට ආයාචනා කරයි.

‘නිදහස වගකීම පෙරදැරිව‘ යන්න සිය තේමාව කොට ගත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ අඳුරු කාල පරිච්ඡේදයෙහි ඔබගේ සියලු පියවරවලදී එය නිරන්තරයෙන් මතකයේ තබාගන්නා ලෙසයි.  ජනතාව සතු මූලික අයිතිවාසිකම් ප්‍රමුඛ සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සඳහා වන අරගල නිරන්තරයෙන් දිරිමත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම අරමුණු සමඟ හෘදයාංගමව බැඳී සිටින බවද අවධාරණය කරයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටුව.