රට ම නවතින අද දිනය ; ආණ්ඩුවට සංඥාවකි !

රට ම නවතින අද දිනය ; ආණ්ඩුවට සංඥාවකි !
උද්දච්ච, ජන පීඩක ආණ්ඩුවට ගෙදර යැවීමට බල කරමින් මාසයකට ආසන්න කාලයක් පුරාවට රට පුරා ගම් නගර පාසා දැවැන්ත උද්ඝෝෂණ සහ විරෝධතා ක්‍රියාත්මක වෙයි. විරෝධතාකරුවෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් සිටී. ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ද අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ද අරගලකරුවෝ වාඩි ලා සිටිති. ගෝල්ෆේස් අරගල බිම මේ වන විට නොකඩවා දින විස්සකට ආසන්න කාලයක් ක්‍රියාත්මක ය. ආණ්ඩුවේ මැති- ඇමතිවරුන්ට අයත් රටපුරා පිහිටි නිවාස ජනතාව වටලති. නමුත් මේ පවුල් ආණ්ඩුව මේ සියලු විරෝධතා සටන් පාඨ කම්හලේ බල්ලන් සේ නෑසූ කනින් සිටිති. එවැනි තත්ත්වයක් තුළ මහජන අරගලය හුදෙකලා නොකර ඊට ශක්තියක් ලෙස මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය හා බහුජන සංවිධාන ද අරගලයේ මුල සිට ම දිරි දෙති. එහි ක්‍රියාමාර්ග ලෙස පසුගිය 20 වන දා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කම්කරුවෝ කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කොට, ඔවුන්ගේ කෑම පැයේ උද්ගෝෂණයේ නියැලුණහ. පසුගිය 25වන දා රජයේ සියලු ම පාසල් ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කළෝ ය. අද, එනම් 28 වන දා සමස්ත කම්කරු ප්‍රජාව ම එක් දින වැඩවර්ජනයකට පිවිසෙනු ඇත. එය මෑත ඉතිහාසයේ සුවිශේෂී දවසක් වනු ඇත.
 
ඒ මෙම වැඩවර්ජනය සඳහා සියලු ම ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය, අර්ධරාජ්‍ය, පුද්ගලික, අවිධිමත් අංශය සහ වතු කම්කරු යන සමස්ත කම්කරු ප්‍රජාව ම සහභාගී වන බැවිනි. මේ ආකාරයෙන් මෙරට සමස්ත කම්කරු ප්‍රජාව ම වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙනුයේ ජීවත් වීමට ඇති මාර්ග අහුරමින්, මහජනතාව මත බර පටවමින්, මහජන මුදල් නිස්කාරනේ නාස්ති කරමින්, තම ගජ මිතුරු කල්ලිය පෝෂණය කරමින් බලයේ රැඳී සිටින රාජපක්ෂ ආණ්ඩුවට ජනතා හඬට කන් දී ගෙදර යන්නැයි බල කරමිනි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග එකට හිට ගන්නා වෘත්තීය සමිති අතර ආණ්ඩුවේ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රියා කළ ප්‍රබල පෙලේ වෘත්තීය සමිති මෙන් ම ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිති ද වීම විශේෂත්වයකි. ඒ අනුව මෙය වැඩවර්ජනයකට එහා ගිය තත්ත්වයකැයි පාලකයෝ අවබෝධ කර ගත යුතුය.
 
මන් ද, මෙම වැඩවර්ජනය හරහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු කම්කරු යනා දී ක්ෂේත්‍ර සියල්ලේ ම කම්කරුවන් මෙම වැඩවර්ජනයේ නියැලෙන අතර බැංකු, ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු පොදු සේවා සියල්ල ද අද දිනයේ දී නතර වනු ඇත. මෙම සංඥාව ආණ්ඩුව තේරුම් නොගන හෝ බලය සියතේ තබා ගැනීමේ ආත්මාර්තකාමී පරමාර්ථය මත ජනතාවගේ මෙන් ම කම්කරු පන්තියේ හඬට කන් නොදෙන්නේ නම් ඉදිරියේ දී දරුණු වෘත්තීය ක්‍රියාමාර්ග ආණ්ඩුවට දරා ගැනීමට සිදු වනු ඇත. එපමණක් නොව ආණ්ඩුව ගෙදර එළවා මහජනතාව වෙත බලය ලබා ගැනීමට ද වෘත්තීය සමිති ව්‍යාපාරය සටන් කරනු ඇත.
 

සටහන - ප්‍රොටෙක්ට් සංගමය-