වෘත්තීය සමිති 1000ට වැඩි එකතුවක වර්ජනය අදයි

වෘත්තීය සමිති 1000ට වැඩි එකතුවක වර්ජනය අදයි
ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් අද (28) දිනයේදී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි.
 
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් ‘ජනමතයට හිස නමනු - ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර, වෘත්තීය සමිති දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා එක්ව සිටින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කියා සිටියි.
 
අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු ආදී සෑම ක්‍ෂේත්‍රයකම පිරිස් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.
 
රෝහල්වල ද සේවකයන් ද සියයට 50ක් පමණ මෙම වැඩවර්ජනයට එක්වන නමුත් රෝහල් සේවා අඩාල නොවන අයුරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ද කුමුදේශ් මහතා සඳහන් කළේය.
 
සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් කළු ඇඳුමින් සැරසී හදිසි ප්‍රතිකාර කටයුතුවල යෙදෙන බව ද රවි කුමුදේශ් මහතා කීවේය.
 
රෝහල් සේවකයින් ද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක කාලයක් සේවා කටයුතුවලින් ඉවත්වී විරෝධතාවක නිරත වන බව ද ඔහු සඳහන් කළේය.
 
සියලුම රෝහල් ඉදිරිපිට අද දහවල් 12.00 සිට උද්ඝෝෂණ හා පා ගමන් පැවැත්වෙන අතර, රට පුරා නගරවලදී ද විරෝධතා සංවිධානය කර තිබේ.
 
වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් සංවිධානය කරන දැවැන්ත විරෝධතාවයක් හා විරෝධතා රැලියක් දහවල් 12.00ට කොටුව දුම්රියපල ඉදිරිපිට දීදපැවැත්වීමට නියමිතය. මීට අමතරව වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිති කොළඹ ලිප්ටන් වටරවුම ආදී ස්ථාන ගණනාවක සිට විරෝධතාවල නිරතවී ගාලුමුවදොර ජන අරගල භූමිය දක්වා පා ගමනින් ගොස් එම විරෝධතාවට එක්වීමට ද සැලසුම් කර ඇත.
 
සරසවි ශිෂ්‍යයන් ද කොළඹ ඇතුළු රට පුරා නගරවලදී විරෝධතා මාලාවක් සංවිධානය කර ඇත. ලංකා වෙළඳ කාර්මික හා පොදු වෙළඳ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය, ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ස්වාධීන වරාය සේවක සංගමය, ලංකා වතු සේවා සංගමය, ශ්‍රී ලංකා විගණන පරීක්‍ෂණ සේවා සංගමය, රක්ෂණ සේවක එකමුතුව, නිදහස් වෘත්තීය සමිති සන්ධානය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, එක්සත් පොදු සේවක සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තැපැල් රියදුරු සංගමය, සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, ජාතික පොදු සේවක සංගමය, වරාය ලිපිකරු සංගමය, සමස්ත ලංකා හාබර් ඩොක් කම්කරු සංගමය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැලසුම් ලිපිකරුවන්ගේ සංගමය, ටග් යාත්‍රා ස්වාධීන සේවක සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංවිම නව සේවක සංගමය, සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ඒකාබද්ධ ජල සම්පාදන සේවා සංගමය, ගොවි හඬ ජාතික ව්‍යාපාරය, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය, රජයේ කර්මාන්තශාලා යාන්ත්‍රික අධිකාරී සංගමය, රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ ජාතික එකමුතුව, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, රජයේ කළමනාකරණ සේවා නිලධාරී සංගමය, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය, ඇතුළු වෘත්තීය සමිති 1000කට වැඩි ප්‍රමාණයක් මෙම වර්ජනයට එකඟතාව පළ කර ඇතැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කරයි.